සෙව්වන්දි නිසා PickMe එකත් ලොකු අමාරුවක - අධිකරණයෙනුත් නියෝග

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව නමැත්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය එම ඝාතනයෙන් අනතුරුව පලා ගිය පික් මී ආයතනයට අයත් රථ පිළිබඳ තොරතුරු වාර්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසයට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා එම ආයතනයේ බලධාරීන්ට ඊයේ (29) නියෝග කළේය.

ඉෂාරා සෙව්වන්දි නමැත්තිය එම ඝාතනය සිදු කර පලා යාමට එම ආයතනයට අයත් ත්‍රිරෝද රථ ඇතුළු වෙනත් රථ භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සිදු කළ දැනුම් දීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

එම ආයතනයට කුලී ගෙවා එම රථ වෙන්කර ගෙන ඇත්තේ කවුද එම රථවල අංක මොනවාද එම රථ ධාවනය කර ඇත්තේ කවුද යන්න පිළිබඳ තොරතුරු එම වාර්තාවේ ඇතුළත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කරන ලද ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ආයතනය අදාළ නියෝග නිකුත් කරනු ලැබුවේය. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා එම තොරතුරු අත්‍යවශ්‍යව ඇති බැවින් එම ඉල්ලීම කරන බව නියෝග අයදිමින් පොලීසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටි අතර එම සිද්ධියට අදාළ සැකකරුවන් පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරමින් පවතින බවත් ඔවුන්ගෙන් අනාවරණය වූ කරුණුවලට අනුව මෙම නියෝග අයදින බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එම සැකකරුවන්ගෙන් කීපදෙනෙකු පොලීසිය බාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවත් තවත් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.

Source: dinamina.lk

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post