
නුගේගොඩ සංහිඳ ලෙෂර් පිහිනුම් තටාකයේදී දියේ ගිලීමෙන් මියගිය පස් හැවිරිදි ජාත්‍යන්තර පාසල් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දීමට ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය නියෝග කළාය. එම නියෝගයට අනුව සිසුවාගේ දේහය දෙමව්පියන් වෙත භාර දෙන ලදී.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී බ්‍රහස්පතින්දා (09) දින පවත්වන ලද මරණ පරීක්ෂණයේදී වැඩ බලන මහේස්ත්‍රාත්වරිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය. මෙලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ, තලපත්පිටිය, උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි නුගේගොඩ කීබල් කොලේජ් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ නෙතුජ නිර්වාණ හේරත් නම් වූ සිසුවෙකි. මිරිහාන පොලිසිය වෙනුවෙන් පොලිස් කොස්තාපල් 102907 රාජනායක මහතා විසින් මරණ පරීක්ෂණය මෙහෙයවනු ලැබූ අතර, දරුවාගේ මව සහ පියා විසින් මෘත දේහය හඳුනාගන්නා ලදී.
අදාළ සිදුවීම වන අවස්ථාවේදී, එම පාසලේම සිසුන් 30 දෙනෙකු ගුරුවරුන් කිහිප දෙනෙකුගේ අධීක්ෂණය යටතේ පිහිනුම් පුහුණුව සඳහා එම ස්ථානයට පැමිණ සිටි බවත්, ඔවුන්ගේ දෙමව්පියන් ද එම ස්ථානයේ රැඳී සිටි බවත් මරණ පරීක්ෂණයේදී කරුණු හෙළි විය.
පුහුණුකරුවන්ගේ මගපෙන්වීම යටතේ අනෙකුත් සිසුන් පිහිනුම් පුහුණුවේ නිරතව සිටින අතරතුර මෙම සිසුවා දියේ ගිලී ඇති අතර, පසුව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබිණි.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ මෙම සිසුවාගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා ද අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිට ඇති බව වාර්තා වේ. තම පුත්‍රයාගේ මරණයේ සම්පූර්ණ වගකීම පාසල් සහ පිහිනුම් බලධාරීන් විසින් භාරගත යුතු බවට මියගිය සිසුවාගේ පියා වන ප්‍රදීප් හේරත් මහතා මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කළේය.
දරුවා ගිලෙන අවස්ථාවේ පුහුණුකරු එතැන නොසිටි බවත් ඔහු වැඩිමල් සිසුන් පුහුණුව සඳහා මිනිත්තු පහකට ගිය බවත් පවසා ඇති අතර දරුවා ජලයේ ගිලී පාවෙමින් සිටිනු දැක ඇත්තේ පිහිනුම් තටාකය අලුත්වැඩියාවකට වහළයේ සිටි බාසුන්නැහෙලා පිරිසක් බවත් පැවසේ.
ඔවුන් දරුවා ගිලී සිටිනු දැක කෑගැසූ නමුත් කිසිවෙකු ඉදිරිපත්වී දරුවා බේරාගන්නට යොමු නොවූ පසුබිමක අනෙක් පස සිටි දරුවාගේ වැඩිමල් සොයුරියක වහා පිහිනාවිත් තම සොයුරා ගොඩගෙන තිබේ. එම අවස්ථාවේ සිහිය නැතිව වතුර පෙවී තිබුණ දරුවා රෝහල් ගත කළ නමුත් රෝහලට රැගෙන එනවිටත් මියගොස් සිටි බව රෝහලින් පවසා තිබේ.
දරුවාට වතුර පෙවී ඇති අවස්ථාවේ දෙමාපියන් ඇමතූ පිහිනුම් භාරව එදින පැමිණි ගුරුවරිය සුළු දෙයක් සිදුව ඇති බවත් වතුර ටිකක් පෙවී ඇති නිසා රෝහලට දරුවා රැගෙන යන බවත් පමණක් පවසා තිබුණි.
පිහිනීම සම්බන්ධයෙන් කිසිදු පූර්ව දැනුමක් තම දරුවාට නොතිබූ බැවින්, ඔහුව නොගැඹුරු කුඩා තටාකයට යොමු කිරීම සිදු කළ යුතුව තිබුණ ද, ඔහුව පළමුවෙන්ම ගැඹුරු තටාකය වෙත යොමු කර ඇති බවට පියා චෝදනා කළේය.
ගැඹුරු තටාකයේ පිහිනීමට නොදන්නා කුඩා දරුවන් තනිකර දමා යාමේ අවදානම ගැන වගකීමක් තිබී නැත.
තවද, සාමාන්‍යයෙන් පුහුණුකරුවන් දෙදෙනෙකු යොදවන පිහිනුම් සැසිය සඳහා සිදුවීම වූ දිනයේ යොදවා තිබී ඇත්තේ එක් පුහුණුකරුවෙකු පමණක් බවත්, ඔහු ද නිත්‍ය පුහුණුකරු නොවන බවත් හෙතෙම කියා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සහ සාක්ෂි සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරිය, මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දීමට තීරණය කළාය. නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත මිරිහාන පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.