විදුලි වාහන අවුල දරුණු අතට.. වාහන වෙලදපල හෙල්ලෙයි…


වායු දුෂණය අවම කිරීමේ සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම රජය තීරණය කර තිබුණත් විද්‍යුත් වාහන සඳහා මහජනතාවගේ තිබෙන උනන්දුව අඩුවෙමින් පවතින බව විද්‍යුත් වාහන හිමියන්ගේ සංගමය පවසයි.

එයට හේතුව රේගුව බී.වයි.ඩී. වාහන 1000 කට වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමට ගත් තීරණය බවත් එමගින් ඉන් දැනටමත් විද්‍යුත් වාහන සඳහා ආයෝජනය කර ඇති පාරිභෝගිකයන් අධෛර්යමත් වී වෙළෙඳපොළ අවිනිශ්චිතතාවක් මතුවී තිබෙන බවත් එම සංගමය ප්‍රකාශ කළේය.

පසුගිය ජූලි මාසයේදී බී.වයි. ඩී. වාහන තොග දෙකක් රඳවා ගැනීමට රේගුව තීරණය කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු 7 වැනිදා රඳවා ගෙන සිටි වාහන 991 ක් සහ තවත් වාහන 506 ක් බැංකු ඇපතරයක් මත මුදා හැරීමට රේගුව කටයුතු කළේය.

කෙසේ නමුත් තවත් බී.වයි.ඩී. වාහන 1000 රේගුව රඳවා ගෙන සිටින අතර එය ඉක්මනින් මුදා හැරීමේ අවශ්‍යතාව ජෝන් කීල්ස් සී.ජී. ඔටෝ සමාගම පසුගියදා පෙන්වා දුන්නේය.

ජෝන් කිල්ස් සී.ජී. ඔටෝ සමාගම ප්‍රකාශයට පත්කළ මෝටර් ධාරිතාවේ ගැටළුවක් තිබෙන බවට චෝදනා කරමින් එම වාහන සියල්ල රඳවා ගැනීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කළේය.

දැනටමත් විද්‍යුත් වාහන මිලදීගෙන ඇති සහ මිලදී ගැනීමට අත්තිකාරම් බැඳ ඇති පාරිභෝගිකයන්ට රේගුවේ මෙම ක්‍රියාව බලපාන බව එම සංගමය ප්‍රකාශ කළේය. පසුගිය මාස හයේදී අවම වශයෙන් පාරිභෝගිකයින් 10,000 ක් විදුලි වාහන සහ ප්ලග්-ඉන් දෙමුහුන් වාහන මිලදී ගෙන ඇති බවද විද්‍යුත් වාහන හිමියන්ගේ සංගමය පැවැසුවේය.

ඒ හේතුවෙන් රජයට විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වී එය විධිමත් කරන ලෙස විද්‍යුත් වාහන හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු දීලක පිටගම්පොල මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

නිෂ්පාදක සහතික පිළිගැනීම රේගුව ප්‍රතික්ෂේප කිරීම සහ මෝටර් ධාරිතාව තහවුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණාගරයක් නොමැතිකම ව්‍යාකූල තත්වයක් ඇති කරන බවත් ඉන් පාරිභෝගික විශ්වාසය අවතක්සේරුවට ලක් කරන බවත් ඔහු පැවැසුවේය.

මෝටර් ධාරිතාව තහවුරු කළ හැක්කේ නවීන තාක්ෂණය සහිතපරීක්ෂණාගාරයකදී පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය. එවැනි පහසුකමක් නොමැතිව දේශීයව මෝටර් ධාරිතාව තහවුරු කර ගැනීමට යෑමේදී ඉන් සියලු පාර්ශ්වයන්ට සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොලැබෙනු ඇති බවත් ඉන් තත්වය තවත් දරුණු අතට හැරෙනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සහ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල විශේෂඥයින් සතුව දැනුම තිබුණද, නිවැරදි පරීක්ෂණයක් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දැනට ඔවුන් සතුව නොමැති බව පිටගම් පොල මහතා පැහැදිලි කළේය. නිසි ආකාරයෙන් තහවුරු කිරීමකින් තොරව රේගුව විසින් පත් කරන ලද කමිටුව නිකුත් කරන ඕනෑම වාර්තාවක් අර්බුදය තවදුරටත් සංකීර්ණ කළ හැකි බවත් ඉන් විද්‍යුත් වාහන පාරිභෝගිකයින්ට හානියක් විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.

දර්ශන සංජීව බාලසූරිය
ඩේලි මීරර්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post