
ඊයේ (සැප්තැම්බර් 4) රාත්‍රියේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ දී සිදු වූ දරුණු බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, අනතුරට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී සහාය වූ ප්‍රදේශවාසියෙකු ද මියගොස් ඇති බව වාර්තා වේ.
විනෝද චාරිකාවක් අවසන් කර ආපසු එමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැගත් බස් රථයක් ඇල්ල සිට වැල්ලවාය දෙසට ගමන් කරමින් සිටියදී, ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී මාර්ගයේ ආරක්ෂක වැටෙහි හැපී අඩි 1000ක පමණ (මීටර් 200ක පමණ) ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණු අතර ප්‍රදේශයේ දී රාත්‍රී 9.00ට පමණය.
අනතුරෙන් මිය ගිය හා තුවාල ලැබූ පිරිස අනතුරට ලක් වූ බස් රථයේ රියදුරු ඇතුළුව මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වේ. පොලීසිය විසින් ලබාදුන් වාර්තා අනුව, මේ වන විට පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 15 දෙනෙකුගේ මෘත දේහ සොයාගෙන ඇත. එමෙන්ම තුවාල ලැබූ 18 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, ඔවුන් අතර පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු, කාන්තාවන් 7 දෙනෙකු සහ ළමුන් 5 දෙනෙකුද සිටිති.
ඊට අමතරව, අනතුරට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී සහාය වූ ප්‍රදේශවාසීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර, තවත් එක් පුද්ගලයෙකු අභාග්‍යසම්පන්න ලෙස මියගොස් ඇත.
මෙම පුද්ගලයා අනතුරට පත් වූවන් ගලවා ගැනීම සඳහා යොදාගත් කඹය කැඩී යාමෙන් ප්‍රපාතයට වැටී මිය ගොස් ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූ සියලු දෙනා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටින අතර, පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
අනතුරෙන් පසු වහාම ප්‍රදේශවාසීන්, පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව එක්ව මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. මෙම මෙහෙයුම් අතරතුර, ප්‍රදේශවාසීන් අනතුරට පත් වූවන් ගලවා ගැනීම සඳහා තම දිවි පරදුවට තබමින් කැපවීමෙන් ක්‍රියා කළ බව වාර්තා වේ.
එහිදී, අනතුරට පත් වූවන් ගලවා ගැනීම සඳහා යොදා ගත් කඹය කැඩී යාමෙන් ප්‍රදේශවාසියෙකු ප්‍රපාතයට වැටී මියගොස් ඇත. තවත් ප්‍රදේශවාසීන් දෙදෙනෙකු ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් පොලීසිය පවසන්නේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී, මාර්ගයේ ආරක්ෂක යකඩ වැටෙහිද හැපී ප්‍රපාතයට පෙරළී ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන ඇල්ල පොලීසිය විසින් සිදු කරමින් පවතී.
මෙම අනතුර පිළිබඳව විවිධ මත පළවෙමින් තිබෙන අතර, රියදුරුගේ අපරික්ෂාව, බස් රථය ධාවනයට නුසුදුසු තත්වයේ පැවතීම වැනි කරුණු නිසා මෙම අනතුර සිදුවී ඇතැයි සමහරුන් විසින් පවසනු ලබයි.
අනතුරට පත් වූ පිරිස තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් ගොස් නැවත ආපසු යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රාථමික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අනතුරට ලක් වූ බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් බොහෝ දෙනෙක් තංගල්ල නගර සභාවේ සේවකයින් බව තහවුරු වී ඇත.