
ඒ සිද්ධිය නිසා නැදෑයන් ඉදිරියේ අසරණ වුණේ ඇය පමණයි.
මනාලයා මදුසමයට පිටත්ව යන්නටත් කලින් ඒ වුණු සිදුවීම නිසා ඇය දැන් ඒ පිරිසට මුහුණදෙන්නේ කොහොමද? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.
සිය විවාහ මංගල්‍යයදා අනුන්ගේ කරමතින් මධුසමය කරා ගිය මනාලයකු පිළිබඳ කතාවක් ගාල්ල පැත්තෙන් අසන්නට ලැබුණා.
එය යෝජිත විවාහයක්. මනාලයා දකුණේය. මනාලිය උතුරේය. මනාලයා පිට රට රැකියාව සඳහා නිවාඩුවට ලංකාවට ආවේ ඊයේ පෙරේදායි. ඔහු එසේ රටට එන විටම මවුපියෝ කල වයස හරි සිය පුතුට මංගලයක් සූදානම් කොට තිබුණා.
රූමත්කම පමණක් තිබූ මනාලියගේ මවුපියෝ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි ඔහු ළඟ තබාගෙන, ලස්සන පොඩි ගෙයක් හදපු මේ මනාලයාට එක පයින්ම කැමැත්ත දුන්නා. ඔවුන් මනාලයා ගැන වැඩිමනක් නොසෙව්වේ ඩුබායි රටේ ඉඳලා මනාලයාගේ වත්පොහොසත් කම ගැන පමණක් සිතමින්.
උතුරත්, දකුණත් යා කරමින් මෙන් මේ දෙන්නාගේ විවාහය තීන්දු වුණා. දිනද නියම කෙරුණා. මනාලියට තිබූ ආර්ථික අහේනිය නිසාම විවාහ මංගලය උත්සවය තනි දවසේ එකක්විය. ඒ ඩුබායි රටේ ඉඳලා පැමිණි මනාලයාගේ වියදමිනි. මනාලයා පදිංචි පළාතේ ප්‍රධාන නගරය වන ගාල්ලේ හෝටලයකයි.
සියල්ල සූදානම්ය. දෙදෙනා අත්පැන්වත් කොට විවාහ දිවියට එළඹුණා. පෝරු චාරිත්‍රයද සිදු කෙරුණා. උදෑසන තේ පැන් පානය මෙන්ම දිවා ආහාරයද දෙපාර්ශවයේම අය සතුටින් වින්දා. මේ අතර තුර මනාලයා සැරින් සැරේ මනාලියගෙන් මිදී මොහොතකට මිතුරන් අතරට ගියා. පස්වරුවේ කිරි කෝපි සංග්‍රහයද නිමාවට පත්වුණා.
ඊළඟට පැමිණියේ විවාහ මංගල උත්සවයේ උච්චතම අවස්ථාවයි. ඒ මංගල සභාවයි. නැතහොත් මනාල යුවළ සිය සනුහරෙන් සමුගෙන හෝටලයට යාමයි. එසේත් නොමැතිනම් මධු සමය බලා යාමයි. උත්සව සභාවට සියල්ල සූදානම්. මනාල යුවළ එක තැනක යුගල පුටුවේය. මනාලයාගේ පාර්ශවයෙන් මුල්ම කතාවයි. කතිකයා කීවේ මනාලයා ගුණයහපත් දිරිමත් කෙනකු කියායි. මේ වගේ අයකු විවාහ කර ගන්නා කාන්තාව අතිශයින්ම වාසනාවන්තියක යැයි ද පැවසුවා.
මේ කතා යන අතර ඉඳහිට මනාලයාගේ බෙල්ල හිස කිහිප වරක්ම මනාලියගේ පැත්තට කඩා වැටුණ. නිදි කිරන්නාක් මෙන් ඔහුගේ හිස සැරෙන් සැරේ කඩා වැටෙමින් තිබුණා. ඒ එක්කම ඔහුගේ සර්වාංගයම මනාලිය වෙත කඩා වැටුණා. ඔහු නැගිට්ටන්න අවස්ථා කිහිපයකදී උත්සහා කළත් එය ව්‍යර්ථව ගියා. මනාලියගේ දෑස්වල කඳුළුය. එය ටිකෙන් ටික වැඩිවී ඇය ඉකිගසමින් හැඬුවා. මනාලයාගේ ගුණ කී කථිකයා සොයා ගැනීමටවත් නොහැකි විය. මනාලියගේ පාර්ශ්වයේ සියලු ඥාතීන් රහස් කතා බහකය. ඔවුහු මුළු මුළුවලට ගොස් කසු කුසු ගෑහ.
මනාල යුවළ හෝටලය බලා යාමට නැකත කිට්ටුය. මංගල රථය ද ඒ සඳහා පැමිණ හෝටලය ඉදිරිපිටයි. කරන්න කියන්න කිසිම දෙයක් නැත. මිතුරන් කතිකාවකය. ඥාතීහු තුෂ්නීම්භූතව සිටියා. තමන් ගිය විවාහ මංගල උත්සවයක කවදාවත්ම සිදු නොවූ මේ අපූරු මනාල යුවළගේ සමුගැනීම සියැසින් දැක බලා ගැනීමට එම අවස්ථාවට සහභාගිවූවෝ බලා සිටියා. සුභ නැකතට එළියට බැසීමට මනාලිය නැගිට්ටා. මනාලයා මිතුරන්ගේ කරපිටයි. මනාලිය පාගමනින් ගොස් මංගල රථයට නැංගායි. ඒ නැකතටයි. මනාලයාද නැකතට මෝටර් රථයේය. ඒ මිතුරන්ගේ කර පිටිනි.
මනාලයා සිය මංගල දවසේ මනාලියගෙන් මිදී සැරෙන් සැරේ මිතුරන් අතරට ගොස් කටට හලා ගත් බඩු නියමෙට වැඩ කර ඇත්තේ මංගල උත්සව සභාව අවස්ථාවේදී බව කාටත් නොරහසක් වුණා.