දුම්වැටි විකිණූ සිසුවා ලොකු හොරකමක් අල්ලා දෙයි

තණමල්විල ප්‍රදේශයේ පාසලක එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු දුම්වැටි අලෙවි කරන බවට විදුහල්පතිවරයා විසින් පොලිසියට 17 වැනිදා සිදුකරන ලද දැනුම්දීමක් මත සිදුකළ වැටලීමක දී එම සිසුවාගෙන් ලද තොරතුරු අනුව විදෙස් දුම්වැටි අලෙවි කළ වෙළෙඳසල් හිමියකු තණමල්විල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුවා පාසල තුළ රට සිගරට් විකුණමින් සිට තිබේ. පොලිසිය පාසලට ගොස් එම සිසුවාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එම සිසුවාගේ මඟපෙන්වීම මත සූරියවැව නගරයේ වෙළෙඳසලක තිබූ නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද ඩබල් ඇපල් දුම්වැටි 180ක්, මැන්චෙස්ටර් ඩබල් ස්විච් දුම්වැටි 120ක්, මැන්චෙස්ටර් ග්‍රීන් ඇපල් දුම්වැටි 17ක්, අග්ග්‍රොස් දුම්වැටි 115ක්, මැන්චෙස්ටර් රතු දුම්වැටි 33ක්, ඇම්බර් කුෂන් දුම්වැටි 40ක්, මැන්චෙස්ටර් ගෝල්ඩ්ලීප් දුම්වැටි 120ක් වශයෙන් මුළු දුම්වැටි 690ක් සොයාගෙන තිබේ.

එම තොගයේ වටිනාකම රුපියල් තුන් ලක්ෂ අසූ අට දහසකි. දුම්වැටි තොගය සමග ඒවා අලෙවි කළ තිස් අට හැවිරිදි වෙළෙඳසල් හිමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සහ නඩුභාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සූරියවැව පොලිසියට භාරදී ඇත. තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ඩී.එම්.පී බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැටලීම කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post