
ඇය එමී. (Amy Victoria Gibb) අම්මත් එක්ක ලංකාවට ආවේ ලන්ඩන්වල ඉදල.
ඒ් ඇගේ පළමු ලංකා ගමන. අම්මා නම් මීට කලින් වතාවක් ඇවිත් තියෙනවා.
දින කීපයක් ලංකාවේ ඇති සුන්දර තැන් බලන්න ගිය මේ දෙන්න, පසුගිය 05 වැනිදා හිටියේ ඇල්ලේ.
ඉතින් එදා රාත්‍රිය ගැන අමුතුවෙන් ඔයගොල්ලන්ට කියන්න වුවමනා වෙන්නේ නැහැ. ඒ්ක මහා ඛේදවාචකයක්.
මේ අවාසනාවන්ත සිදුවීම වෙලාවේ ඒ් අහළ පහළ හිටපු හැමෝම ගිහින් විපත පත්වී හිටිය පිරිස බේරා ගන්න දිවි හිමියෙන් කැප වුණා. ඉතින් මේ අය අතර හිටපු සුවිශේෂිම චරිතයක් වුණේ එමී.
ඇය ස්වෙච්චාවෙන්ම ඉදිරිපත් වෙලා අනතුරට පත්වී සිටි ජීවිත බොහොමයක් බේරා ගන්න උදව් කළා.
“එමී ලංකාවට ආවේ දින 9 ක නිවාඩුවකට. මේ අනතුර වුණේ ඇය ඇවිත් අට වැනි දවසෙදි. ඊට කළින් ඇය අපි එක්ක ත්‍රීකුණාමලය, සීගිරිය, නුවර, තංගල්ල වගේ ප්‍රදේශවලටත් ගියා.
මේ සිදුවීම වෙද්දී අපි හිටියේ ඇල්ල ප්‍රදේශයේ පිහිටි කැෆේ එකක. ඔය වෙලාවේ අපිට එම්බියුලන්ස් යන සද්දයක් ඇහුණා. ඊළගට තවත් සුළු මොහොතකින් මම දැක්කා අපේ ටුවරිසම්වලට සම්බන්ධ පේජ් එකක මේ අනතුර ගැන සදහන් කරල, උදව් ඉල්ලා තියෙන ප්‍රවෘත්තියක්. මම මේ ගැන එමීට කිව්වා. ඇය ඒක පාරටම කිව්වේ ‘අපි එතැනට යමු’ කියල.”
අපි එක්ක මේ තොරතුරු කියන්න එකතු වුණේ, එමී එක්ක මේ ගමන් බිමන් ගිය චන්දිමාල් සිල්වා. ඔහු තමයි මේ ගමනේ මාර්ග උපදේශකයා. ඉතින් ඔහු මේ කතාවේ ඉතිරි ටිකත් අපිට ඔහු කිව්වා.
“එමී යූකේවල වැඩ කරන්නේ ගිලන් රථ සේවාවක. ඇය එහි පැරමැඩික් කෙනෙක් (paramedic) විදියට වැඩ කරනවා. ඔය අනතුරක් වුණාම ඉක්මණින්ම රෝගියාව රෝහලක් කරා ගෙන යන තුරු ප්‍රථමාධාර ලබාදෙන්නේ මේ පැරමැඩික්ලා තමයි. ඇය ඒ් රටේ ගුවන් හමුදාවෙත් මේ විදියට වැඩ කරල තියෙනවා.”
කෙහොම හරි ඉතින් එදා රාත්‍රී 10. 00 පහුවෙලා තිබියෙදීත් ‘එමී’ දෙවරක් නොසිතා අනතුර වෙච්ච තැනට ගියා. නමුත් ඒ් ඉසව්වටම වාහනයෙන් යන්න නම් ඔවුන්ට බැරි වුණ බවත් චන්දිමාල් අපිට කිව්වා.
”කිලෝ මීටර් එක හමාරක් විතර අපි වාහනයෙන් බැහැල දිව්වා. එමී එතැනට දිව්වේ ලොකු උනන්දුවකින්. ඉතින් මෙතැනට ගිහින් ඇය පුංචි ටෝච් එළියක ආධාරයෙන් පහළට බහින්නත් හැදුවා. ඇය කිව්වා තුවාල වුණ අය උඩට අරන් එද්දී ඒ් අයගේ තුවාල තවත් දරුණු වෙන්න පුළුවන්, ඒ් නිසා පහළට ගිහින් උඩට අරන් එන විදිය ගැන සොය බැලිය යුතුයි කියලා.
නමුත් විදේශිකයෙක් විදියට ආපු ඇය ගැන වඩාත් හොදින් බැලිය යුතු නිසා එතැන සිටි අපේ වෛද්‍යවරු කිවිවා ‘නැහැ.. ඔබ උඩටම වෙලා ඉන්න.. එහෙම ඉදල අපිට උදව් කරන්න.’ කියලා.
එමී මේ විදියට පාන්දර 2.30 පසුවන තුරුත් හිටියා. ඒ් බස් රථයේ හිටපු අවසන් කෙනත් උඩට අරන් එනතුරු ඇය ඒ් සේවය කළා. ඒ් වගේම අපේ රටේ මිනිස්සුන්ගේ හෘදයාංගම බව ගැනත් පසුව කතා කළා. ඒ් ගැන අගය කළා.
ඒ් වගේම ලංකාවේ ප්‍රවාහන සේවය තුළ ඇති අඩු පාඩු ගැනත් ඇය මා එක්ක කිව්වා. විශේෂයෙන්ම සීට් බෙල්ට් නැති එක ගැන. ඒ් වගේම ඒ් නිසාම මිය ගිය රෝගීන් ගැන හරිම දුකින් කතා කළා. “
එමී එදා අපේ රටේ අය වෙනුවෙන් කළ සේවය රජයේ අවධානයත් යොමු වුණා. ඒ් නිසාම අද සංචාරක අමාත්‍යාංශය වගේම එම විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා මැදිහත් වී ඇයගේ කාරුණික සේවය අගයන්න කටයුතු කළා. ඒ් වෙනුවෙන් ඇයව පාර්ලිමේන්තුවට කැදවා තුති පිදුවා.
ලංකාවේම ගෞරවය ඔබට ලැබෙනවා එමී. ඔබ කළේ විශිෂ්ට සේවාවක්..! ඒ්ක අපි නැවත නැවතත් මතක් කරනවා.



