පාසල් වෑන් රියේදීම නව හැවිරිදි සිසුවිය කෙලෙසූ නරුමයා

සිය වෑන් රථයෙන් පාසල් ගොස් යළි නිවසට ඒමේ අපේක්ෂාවෙන් රැඳී සිටි නව හැවිරිදි සිසුවියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ වයෝවෘද්ධ වෑන් රථ රියැදුරකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඊයේ (18දා) බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවම් නියම කළේය.

එයට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් ද වින්දිත දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කෙරිණි. එකී දඩය හා වන්දිය නොගෙවන්නේ නම් මුල් සිරදඬුවමට අමතරව වසර එකහමාරක ලිහිල් වැඩසහිත සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

කොළඹ නගරයට ඔබ්බෙන් පිහිටි ප්‍රධාන පෙළේ නගරයක පාසලක හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එම දැරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීම ඇතුළු විත්තිකරුට එරෙහිව නඟා තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා විත්තිකරුගේ වයෝවෘධභාවය සලකා ලිහිල් දඬුවම් නියම කරන්නැයි විත්තියේ නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එකී සිරදඬුවම් නියම කළේය.

මීට වසර 11කට පමණ පෙර මනුෂ්‍යකමට නිඟාදෙන එකී අපරාධය සිදුකරන විට විත්තිකරු වයස අවුරුදු 55ක් වූ එක්දරු පියෙකු බවත් පැමිණිල්ලෙන් කියැවිණි. මහරගම පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අධිචෝදනා පත්‍රයක් ගොනුකර නඩු පවරා තිබූ අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ අකලංක පටබැඳිගේ මහතා පෙනී සිටියේය. පොලිස් කොස්තාපල් (84742) එම්. එන්. එස්. ලක්ෂාන් මහතා මහරගම පොලිසිය නියෝජනය කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post