නව කොවිඩ් වෛරසයේ වත්මන් තත්ත්වය... සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්... අවදානම් කාණ්ඩ ගැනත් දැනුම් දෙයි...

ලොව පුරා පැතිරෙමින් තිබෙන නව කොවිඩ් වෛරසයේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ගෝලීය වශයෙන් 2025 පෙබරවාරී සිට කොවිඩ් වෛරසය ඇති කරන SARS-CoV-2 වෛරසයේ ක්‍රියාකාරිත්වය ඉහළ යෑමක් වාර්තා වී ඇති බවයි එහි සඳහන් වන්නේ. 

SARS-CoV-2 වයිරසය පැතිර යන විට යම් යම් ජාන විපර්යාසවලට භාජනය වීම සාමාන්‍ය තත්වයක් බව දැක්වෙනවා. 

එමෙන්ම දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන ප්‍රභේදය 2024 වසරේදී වාර්තා වූ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් වශයෙන් හඳුනා ගෙන ඇති බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එම නිවේදනය මගින් පවසනවා.  

එම ප්‍රභේදය ශ්‍රි ලංකාවේදී ඉකුත් 2024 වසරේ නිරීක්ෂණය වූ බවද වැඩි දුරටත් දක්වා තිබෙනවා.  

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිකුත් කළ නිවේදනය අනූව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID – 19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තා වනවා.  

ජාත්‍යන්තරව සිදු කරන ස්වසන රෝග සඳහා වන ආවේෂණ පද්ධතියට අනුව පසුගිය මාස කිහිපය තුළදී විශේෂයෙන්ම ආසියාතික රටවල් කිහිපයක් ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක COVID – 19 රෝගීන්ගේ ඉහළ යෑමක්ද වාර්තා වන බව සදහන්.  

2023 මැයි මාසයේ සිට COVID – 19 ගෝලීය වසංගත තත්ත්වය අවසන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර එතැන් සිට COVID – 19 රෝගය සාමාන්‍යයෙන් පැතිර යන ශ්වසන රෝගී තත්ත්වයක් ලෙස සලකනු ලබනවා.  

SARS-CoV-2 වෛරසය පැතිර යන විට යම් යම් ජාන විපර්යාස වලට භාජනය වීම සාමාන්‍ය තත්වයකි.  

දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන ප්‍රභේදය 2024 වසරේදීද වාර්තා වූ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් වශයෙන් හඳුනා ගෙන තිබෙනවා.  

ශ්‍රි ලංකාවේද 2024 වර්ෂයේදී මෙම ප්‍රභේදය නිරීක්ෂණය වුණා. 2025 වර්ෂයේ මැයි මාසයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) මගින් පරීක්ෂා කළ නියැදියද එම අනු ප්‍රභේදවලටම අයත් බව හඳුනාගෙන තිබෙනවා.  

එම නිසා මේවා අලුත් ජාන ප්‍රභේද නොවන අතර එමඟින් වඩා උග්‍ර රෝගී තත්ත්වයන් හෝ සංකූලතා ඇති වීමක් හෝ වාර්තා වී නොමැත.  

ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග ආවේක්ෂණ පද්ධතියට අනුව 2024 වර්ෂය තුළදී ශ්‍රීලංකාව තුළ SARS-CoV-2 වෛරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය, ශ්වසන රෝග සහිත රෝගීන්ගේ නියැදියවලින් 3% ක්. එම වසරේ මැයි මාසයේදී එය 9.6% දක්වා ඉහළ ගියා.  

මෙම වසරේ මෙතෙක් දුරට SARS-CoV-2 වෛරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය 2% පමණ වන අතර, සුළු වැඩිවීමක් මේ වන විට පෙන්නුම් කරනවා.  

ඒ අනුව 2024 මැයි මාසයේදී මෙන්ම 2025 මැයි මාසයේදීත් COVID – 19 රෝගීන් වාර්තා වීමේ ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. 

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව මෙම වෛරසය අනාගතයේදී හැසිරීම පිළිබඳව පූර්ව නිගමනයකට එළඹී නැති අතර ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීම තවම පර්යේෂණ මට්ටමක පවතිනවා.  

පසුගිය ගිය වසර කිහිපය හා සැසඳීමේදී පවතින කාලගුණ තත්ත්ව යටතේදී ඉන්ෆ්ලුවෙන්සාව වැනි රෝගවල වැඩිවීමක් මෙම කාලයේදී සාමාන්‍යයෙන් දක්නට ලැබෙන බව එහි සදහන්.  

රෝගය පැතිර යාම පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන අතර මහජනතාව මේ පිළිබඳව අනියත බියක් ඇතිකර ගතයුතු නැති බවයි පවසන්නේ.  

උණ, සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පවතී නම් අනවශ්‍ය ලෙස බිය වී රෝහල් ගතවීමේ අවශ්‍යතාවයක් නොමැත.  

නමුත් යම් පුද්ගලයකුට ශ්වසන රෝගයක් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවේ නම් රෝහලක් වෙත යොමුවීම අවශ්‍යයි.  

කෙසේ වුවද මෙම COVID – 19 රෝගය, ඉන්ෆ්ලුවෙන්සාව ඇතුළු සියලුම ශ්වසන රෝගවලින් ආරක්ෂා වීම සඳහා පිළිපැදිය යුතු ශ්වසන ස්වස්ථාවය ඇතුළු යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම වැදගත්.  

කිවිසෙන විට හෝ කහින විට තමාගේ වැලමිටින් හෝ ටිෂූ කඩදාසියක් වැනි යමකින් ආවරණය කර ගැනීම, අනවශ්‍ය ලෙස තමාගේ මුහුණ අතපත ගෑමෙන් වැළකීම, නිතර දෑත් සේදීම හෝ විෂබීජනාශක ද්‍රාවණයකින් දෑත්පිරිසිදු කර ගැනීම, අපිරිසිදු දෑත්වලින් මුහුණ ඇල්ලීමෙන් වැළකීම වැනි දේ මේ අතර වනවා.  

එමෙන්ම යම් අයෙක් ශ්වසන රෝගයකින් පෙළේ නම් එම පුද්ගලයාගෙන් අන් අයට රෝගය ආසාදනය වීම වැළැක්වීම සඳහා රෝගී පුද්ගලයා මුව ආවරණයක් පැළඳීම, අනවශ්‍ය ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයෑම වැනි දේ යෝග්‍ය බවයි එහි දැක්වෙන්නේ.  

රෝගය නිසා සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැළකීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.  

මෙම කණ්ඩායම් වන්නේ වයස්ගත පිරිස්, ගර්භනී කාන්තාවන්, ළදරුවන්, හෘද රෝග, දිගුකාලීන ස්වසන රෝග, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් සහ, යම් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිශක්තිය පහළ දමන ආකාරයේ ඖෂධ ලබාගන්නා පුද්ගලයන් බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post