නොකඩවා දින දෙකක් තිස්සේ නිවසේ ගොරවමින් නිදා සිටි පුද්ගලයා අභිරහස් ලෙස මියගිය හැටි

මොරගහහේන වීදියගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු පැය 24කට වැඩි කාලයක් ගොරවමින් නිදා සිටීමෙන් පසුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුගේ හිසේ අභ්‍යන්තරයේ සැලකිය යුතු පැළීම් දෙකක් තිබූ බව සොයාගෙන ඇත.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රාථමික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වීදියගොඩ, ගමගොඩ පාරේ පදිංචිව සිටි එම්. එස්. මහින්ද නම් 52 හැවිරිදි තැනැත්තා දරුවකුගේ පියෙකු වන අතර, ඔහු සිය බිරිඳගෙන් වෙන්ව ජීවත් වූ අයෙකු බවයි.

පොලිස් විමර්ශනවලදී හෙළි වූ කරුණු අනුව,

මෙම පුද්ගලයා ඉකුත් 29 වැනි දින සුපුරුදු පරිදි සිය බිරිඳගේ මවගේ නිවස ඉදිරිපිට කොරිඩෝවේ පුටුවක හිඳ සිටි අතර, ඒ අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර තිබේ. රාත්‍රියේදී ඔහු එම කොරිඩෝවේම සිමෙන්ති බැම්ම මත නින්දට ගොස් ඇත.

පසුදින, එනම් 30 වැනි දින, ඔහු එම ස්ථානයේම ගොරවමින් නිදා සිටි අතර, අවදි නොවීම හේතුවෙන් පවුලේ සාමාජිකයින් 1990 සුවසැරිය ගිලන් රථය ගෙන්වා ඔහු හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, දිනකට පසුව ඔහු මියගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර ඇති අතර, එහිදී හෙළි වූ සුවිශේෂී කරුණක් වන්නේ මියගිය පුද්ගලයාගේ හිසේ අභ්‍යන්තරයේ අඟල් 5ක පමණ හරස් අතට ඉරක් ආකාරයට පැළීමක් සහ අඟල් 2ක පමණ කෙළින් අතට පැළීමක් තිබීමයි. මෙම සොයාගැනීම අනුව ඔහුගේ මරණය සැක සහිත තත්ත්වයක් ගන්නා බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව, මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු මෙම මස 27 වැනි දිනට කල්තබා ඇත.

පොලීසිය දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් සිදු කරමින් සිටින අතර, මියගිය පුද්ගලයාගේ හිසේ තිබූ තුවාල ඇති වීමට හේතු සහ ඔහුගේ මරණයට ආසන්නතම හේතුව සොයාගැනීමට උත්සාහ කරමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post