
කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී ටී 56 ගිනි අවියක් සමග කාන්තාවක් අද (මැයි 20) පොලිස් භාරයට ගෙන තිබේ.
mawbima.lk සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ පිළිබඳව සඳහන් කළේ ය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, මෙම කාන්තාව තම මෝටර් රථයේ තිබී රන් ආලේපිත ටී 56 ගිනි අවියක් රැගෙන යනු දුටු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙකු ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇති බව ය.
පසුව වැල්ලවත්ත පොලිසිය මෙම ස්ථානයට ගොස් අදාළ රන් ආලේපිත ගිනි අවිය සහ කාන්තාව පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම ගිනි අවිය සැබෑ එකක් ද නැද්ද යන්න පිළිබඳ සහ මෙම කාන්තාවට අදාළ ගිනි අවිය ලැබුණ ආකාරය පිළිබදව පරීක්ෂණ සිදු කරන බව ය.
මේ පිළිබඳව වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.