ශෘංගාරාත්මක චරිත තෝරා ගැනීම අතින් මම පරෙස්සම්

පබා ටෙලි නාට්‍යය තුළින් රංගන ක්ෂේත්‍රයට පය තැබීමේ වාසනාව හිමිකර ගන්නා ඇය තෝරා බේරා ගන්නා චරිත තුළින් රසික හදවත් ස්පර්ශ කර අවසන්. බොහෝවිට රසිකයන් හට දැනෙන අයුරින් සිය රංගන වින්‍යාසයන් මුවහත් කර ඉදිරිපත් කරන ඇය ප්‍රේක්ෂක ආදරය නිතැතින්ම ලබන ආදරණීය රංගන ශිල්පිනියකි. නමින් උපේක්ෂා ස්වර්ණමාලී වන ඇය දැන් සුරතල් දියණියකගේත් ආදරණීය මවකි. ඉදිරියේදි තිරගත වීමට නියමිත සිනමාපටයකින් සහ ටෙලි නාට්‍යයකින් ඔබට සමීප වන ඇය මේ දිනවල ‘මාස්ටර් සර්’ හරහා ඔබ වෙත පැමිණෙයි.

බොහෝ දෙනාගේ ආදරය ලබන උපේක්ෂා අපත් සමග එකතු වුණේ දැඩි ළෙන්ගතු බවකින්...

මේ දවස්වල හොඳින් වැඩ කටයුතු කෙරීගෙන යනවා. දුවගේ වැඩ කටයුතුවලට තමයි ප්‍රධාන තැනක් දෙන්නේ. ඒ වගේම පුබුදු චතුරංගගේ පළමුවැනි අධ්‍යක්ෂණය වන ‘කුණා’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. අලුත් ටෙලි නාට්‍යකටත් සූදානම් වෙන ගමන් ‘රීකන්ඩිෂන් කෙල්ල’ ටෙලි නාට්‍යයත් අවසන් වුණා. ඒ වගේම සෝෂල් මීඩියාවල ප්‍රමෝෂන් වැඩකටයුතුත් මේ දවස්වල කරගෙන ඉන්නවා. ඒ වගේම මාස්ටර් සර් නාට්‍යය එක්ක මේ දිනවල ප්‍රේක්ෂකයන්ට මුණගැසෙනවා.

විකාශනය අවසන් වූ රීකන්ඩිෂන් කෙල්ල නාට්‍යය සඳහා උපරිම ප්‍රතිචාර ලැබුණ බව උපේක්ෂා පිළිගන්නවා...

‘රීකන්ඩිෂන් කෙල්ල’ ටෙලි නාට්‍යයේ චරිතයට ලැබෙන ප්‍රතිචාර නම් බොහොම ඉහළයි. නමුත් නාට්‍යයේ සිටින කෙනකු සමග මට ගැටුමක් ඇතිවුණා. ඒ කවුද කියල නම් කියන්න මම කැමැති නැහැ. ගැටුමෙන් පසුව පෞද්ගලිකව මට එහි රූගතකිරීම් අහිමි වුණා. ප්‍රේක්ෂකයා මේ කිසිවක් දන්නේ නැහැ. සමස්තයක් විදියට ගත්තොත් තරමක වෙනස් නිර්මාණයක් නිසා හිතුවටත් වඩා ප්‍රතිචාර එම ටෙලි නාට්‍යයට ලැබුණා.

උපේක්ෂා ප්‍රේක්ෂක හදවතේ රැඳෙන චරිත නිර්මාණය කරන ශිල්පිනියක්. ඒ වාසනාව හැමෝටම හිමිවන්නේ නැහැ. උපේක්ෂා කොහොමද මේ වගේ වාසනාවන්තියක් වුණේ කියන එක අනිත් අයට ප්‍රශ්නයක්...

මුලින්ම මම බලන්නේ මගේ චරිතය තුළ යම් දෙයක් මට කරන්නට තිබෙනවාද කියලයි. යාළුකමට හා කියලා චරිතය තුළ කිසිම දෙයක් කරන්නට නොලැබුණු නිර්මාණයනුත් එකක් දෙකක් තිබුණා. ඒ වගේම චරිතය ප්‍රධාන චරිතයක්ද නැද්ද කියලා නම් මම මුල ඉඳන්ම හොයපු කෙනෙක් නෙවෙයි. ප්‍රධාන චරිතයක් ලැබෙනවා කියන්නෙ නම් සතුටක් වගේම භාග්‍යයක්. කුඩා කාලයේ සිටම මම කලාවට ආදරේ නිසා නිර්මාණයක් තුළ සිටින සියලුම දෙනා එක වගේ. සෑම චරිතයකටම සාධාරණයක් ඉෂ්ට කළේ නැතිනම් ඒ නිර්මාණය වැටෙනවා. කවදත් මම මගේ රංගනයන් තුළ යම් සීමාවන් දාගෙන තිබෙනවා.

උ‍පේක්ෂා කියන්නේ තමාට ආවේණික ප්‍රතිරූපයක් නිර්මාණය කළ නිළියක්. මේ නිසා ඇය නිරන්තරයෙන්ම හිතට එකඟ චරිත පමණයි භාරගන්නේ. රඟපෑම වුණත් ඒ තමා කැමැති පිරිසක් සමග පමණයි.

ඔව්. මෑතකදී මට සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණා එහි රූගතකිරීම් පවා සිදුවුණා. එහි ප්‍රධාන නළුවා වුණේ හේමාල් රණසිංහ. මට ඔහුව කිස් කරන සීන් එකක් කරන්න තිබුණා. හේමාල් කියන්නේ බොහොමත්ම හොඳ කෙනෙක් සහ වෘත්තීය කාර්ය හඳුනන කෙනෙක්. හේමාල් සමග කළ චිත්‍රපටය නැතිවුණ එක ගැන මට හරි දුකයි. නමුත් මම මගේ දුව සමග ඇයගේ පාසලට යනවා, කඩේට යනවා, පොළට යනවා. එහෙම සරල ජිවිතයක් ගතකරන මට අර වගේ රඟපෑමක් කරද්දී දුවට එය බලපාන්නේ කොහොමද කියලා මම හිතන්න ගත්තා. මම උපරිම උත්සාහ කරන්නේ මගේ හදවතට දැනෙන දෙය ඉදිරිපත් කරන්න. පිටරටක ගත්තොත් දවසට කරන්නේ එක රූගත කිරීමක් හෝ දෙකක්. නමුත් අපේ රටේ ටෙලි නාට්‍යයක් ගත්තොත් දවසට සීන් විසි පහ තිහ ෂූට් කරන දවස් තිබුණා. ඉතින් ප්‍රායෝගිකව මුළු හදවතින්ම යම් දෙයක් කිරීම පහසු නැති නිසා මම ඇතැම් දේවල් ප්‍රතික්ෂේප කරනවා.

සමාජය තුළ රංගන ශිල්පියකුට හැදෙන කටකතා තුළින් මවකගේ චරිතය පරිස්සම් කර ගන්නට ඔබ දරන වෙහෙස කොපමණද? උපේක්ෂා ඒ වෙනුවෙන් පෙනී සිටින ගැහැනියක්...

ඒක මෙහෙමයි. අපි කොහොම හිටියත් දොස් කියන මනුස්සයා දොස් කියනවා. ආශිර්වාද කරන මනුස්සයා ආශිර්වාද කරනවා. මම කියන්නේ දඩබ්බර චරිතයක් නෙවෙයි කියලා පෞද්ගලිකව මම විශ්වාස කරනවා. මගේ ජීවිතේ කැළලකට තියෙනවා නම් තියෙන්නේ මම දේශපාලනයට පිවිසීම. එයත් මම ස්වකැමැත්තෙන් නොකළ බව මම පුන පුනා මාධ්‍යයට කියපු දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත් ශෘංගාරයම මාකට් කරන කලාකරුවන් අද කලාව තුළ සිටිනවා. ශෘංගාරය කියන හැඟීමේ වැරැද්දක් නැහැ. නමුත් මම එවැනි චරිත තෝරා ගැනීම් තුළදී පරිස්සම්.

උපේක්ෂා කියන්නේ සිංගල් මාම් කෙනෙක්. දරුවෙක් සමග තනියම ජීවිතයට මුහුණ දීම ලෙහෙසි පහසු නැහැ. නමුත් ඇය සූදානම් ඒ ජීවිතයට මුහුණ දෙන්න. ඒ ගැනත් ඇය කතා කළා...

අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙනවා කියන එක පහසු නැහැ. එතැනදිත් සිංගල් මාම් කියන චරිතය හරි අමාරුයි. නමුත් මවක් වීම කියන්නෙම ජීවිතේට වටිනාකමක් එකතු වෙන ජීවිතේ යථාර්ථය අවබෝධ වෙන එහි ලැබෙන ගරුත්වය වෙන කිසිම දේකට සම කරන්න බැරි තනතුරක්. අනික සාමාන්‍යය මනුස්සයෙක් දිහා උපරිම සිය දෙනෙක් බලාගෙන ඉඳීවි. නමුත් මොන ක්ෂේත්‍රයකින් හෝ ජනප්‍රිය වුණු කෙනෙක් දිහා ඊට වඩා පිරිසක් ඇහැ ගහගෙන ඉන්නවා. එහිදි සිංගල් මාම් කෙනෙක් විදියට දරුවාට හරි දේ කියලා දෙන එක ආරක්ෂා කර ගැනීම ලෙහෙසි දෙයක් නෙමෙයි. උදාහරණයක් විදියට ගත්තොත් ඒ කාලේ මොනාම හරි දෙයක් දැන ගන්නේ රුපවාහිනියෙන්, පත්තරයකින්. නමුත් දැන් අන්තර්ජාලය තිබෙනවා. මමයි මගේ දුවයි ජීවිතේ විඳින දෙන්නෙක්. මම දුවට හොඳ යහළුවෙක් වගේ ඉන්නේ. නමුත් ගැටලුව දරුවා මම එයාට දෙන ආදරය වෙන අයගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ අයගෙන් බලාපොරොත්තු වෙන ආදරය ඇයට නොලැබුණාම දුව මගේ මතම යැපෙන්න උත්සාහ කරනවා. එතැනදී මම රැකියාවට යද්දී මට විවේකයක් අවශ්‍ය වෙලාවට යම් පීඩනයක් ඇති වෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම තාවකාලිකයි. දුවත් ඉක්මනින් ලොකු වෙනවා. ඇයට දැනුත් යම් යම් දේවල් තෙරෙනවා.

මවක් විදියට දුවගේ අනාගතය තනන්න දරන වෑයම හිතන තරම් ලේසි නොවන බවයි ඇගේ අදහස...

දුව මොන අංශයෙන් ඉදිරියට යනවද කියන කාරණය මම තවම තීරණය කරලා නැහැ. මොන අංශයට ගියත් ඇය එය නිසි ලෙස හදාරා ඉදිරියට යා යුතුයි. ඒ වගේම ඇය රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ඕනේ කියලා කිව්වොත් කීයටවත් මම ලංකාවෙන් ඇගේ ගමන ආරම්භ කරන්න දෙන්නෙ නැහැ. එහෙම තහනමක් මගේ තියෙනවා. මේ ක්ෂේත්‍රය තුළ වාසනාව සහ ලැබීම කියන දෙය ලොකුවටම බලපාන දෙයක්. කොච්චර හැකියාවක් තිබුණත් මමනම් හිතන්නේ නැහැ එක හා සමාන පිළිගැනීමක් හැමෝටම ලැබෙනවා කියලා.

ක්ෂේත්‍රයේ දිගු කලක් සිටින ශිල්පිනියක් විධියට නවකයන් සමග එකිනෙක ගැටී රංගන කාර්යයේ නිරත වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නමුත් උපේක්ෂා කියන්නේ ඒ ගැන වැඩිය නොසිතා කටයුතු කරන කෙනෙක්. හොඳ හා නරක සෑම තැනකම ඇති බව ඇය විශ්වාස කරනවා.

 ඇතැම් අය සමග වැඩ කිරීම පහසුයි. ඇතැම් අය සමග නැහැ. හැම පරම්පරාවක්ම හැසිරෙන විදිය ගොඩක් වෙනස්. එයට එක හේතුවක් තමයි තාක්ෂණය. උදාහරණයක් විදියට ගත්තොත් මම ලංකාවේ කෙනෙක් නෙවෙයි. නමුත් මම ලංකාවට එද්දී සියලුම කලාකරුවන්ට බොහොම අවංකව ගරු කරපු කෙනෙක්. නමුත් 2000න් පසුව ඉපදුණු දැන් කලාවේ සිටින ඇතැම් දරුවන් බලන්නේ නිර්මාණයේ ගුණාත්මක භාවයට වඩා youtube facebook වල විව්ස් කොච්චර තිබෙනවාද කියලයි. trending වෙන දේවල් මොනවද කියලයි ඔවුන් හොයන්නේ. ඊළඟට ඔවුන් බලන්නේ මුදල. අවුරුදු දහයේ දොළහේ දරුවා පවා මුදලේ වටිනාකම දැනුණහම හොයන්නේ මුදල්. ඒ නිසා ඔවුන් ගුණාත්මක භාවයට වඩා වාසිය, ලාභය, ඉක්මනින් ජනප්‍රිය වීම, ගරුත්වය නොදී ගරුත්වය බලාපොරොත්තු වීම වැනි දේවල් ඇතැම් නවකයන් තුළ තිබෙනවා. පොඩි අයගේ ආකල්ප පිළිබඳ කතා කරනවාට වඩා අපගේ කර්මාන්තය මීට වඩා පිළිවෙළක් විය යුතුයි.

ජීවිතයේ සිදුවුණු ඇතැම් පසුබෑම් ගැන ඇයට දුකක් දැනුණත් ඕනෑම දෙයක් දරාගැනීමේ ශක්තිය ඇති බව විශ්වාස කරනවා. මේ නිසා ජීවිතේ ඕනෑම දේකට මුහුණ දීමට තමා සූදානම් බවයි අවසන් වරට ඇය ප්‍රකාශ කළේ...

පෞද්ගලිකව හිටියටත් වඩා ශක්තිමත් කාන්තාවක් විදියට මම මාව දකිනවා. කවුරු අපිට මොන වැරැද්දක් කළත් අපි හොඳින් ඉන්නවා නම් අපිට වැදගත් වෙන්නේ එපමණයි. මට තිබුණ ප්‍රශ්න සියල්ලක්ම අද මට නොමැති වීම ගැනත් මට ගොඩක් සතුටුයි. ඉස්සර නම් ගොඩක්ම තිබුණේ ඉල්ලගෙන දා ගත්තු ප්‍රශ්න. අද ඒ කිසිම ගැටලුවක් නැතිව සිටීමම මට සැනසිල්ලක්. ආර්ථික අතින් ගත්තත් මීට වඩා සුරක්ෂිතව මට ඉන්න තිබුණා. මම පබා කරන කාලයේ පිටරට සංචාරවලට පවා ගියා. ඒ කාලයේ වැඩ ටික කළමනාකාරණය කර ගන්න මගපෙන්වන්න හරි කෙනෙක් හිටියා නම් අද මීට වඩා තැනක ඉන්නට තිබුණා. නමුත් අද මමත් මගේ දුවත් සතුටින් කාලා ඇඳලා සැහැල්ලුවෙන් සැනසීමෙන් ඉන්නවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload