ගැරඬිඇල්ලේ සිද්ධියෙන් මෙතෙක් නොඇසූ කතාවක් මෙන්න…


රම්බොඩ බස් අනතුරින් අත ගැලවී එල්ලී තිබියදීත් අසරණ වූ කිරිකැටියකුට මව් සෙනෙහස දුන් සරසවි දියණිය
ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රම්බොඩදී ප්‍රපාතයට පෙරළුණු කතරගම බස් රථයේ සුන්බුන්වලට යටවී සිටි මවක සිය කිරිකැටි දරුවා අත්නොහැර රැකවරණය දුන්නේ තම ජීවිතය අනතුරේ බව දැන දැනය. සිය ජීවිතයට වඩා දාරක රැකවරණය සහ සෙනෙහස උතුරන්නේ අම්මාටය. ඒ අම්මා කාන්තාවක නිසාම කිරිකැටියන් දකින හා ඔවුන් අනතුරට පත්වන හැම අවස්ථාවකම එවන් කාන්තාවන්ට හිත උණුවෙති.

‘දරුවා කාගේද නොව කාගේ වුණත් දරුවෙකි’ කියමනට පණ දුන් නිශානි

ඒ ආකාරයට කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ලේදී පෙරළුණු කතරගම බස් රථයේ සිටි වයඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකගේ අත උරහිසින් ගැලවී එල්ලී තිබියදීත් බස් රථයේ අතරමංව සිටි මාස හයක දරුවකුට අම්මා වී ඔවුන් බේරා ගැනීමට පැමිණෙන පිරිස් එනතුරු එම දරුවා එක් අතකින් තුරුළු කරගෙන සිටි පුවතක් අනාවරණය වේ.
වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවියක වන නිෂානි නාමල් රත්නායක නමැති ඇය එහි භෝග කළමනාකරණය පීඨයේ අධ්‍යාපනය ලබයි. බදුල්ල හිඳගොඩ පදිංචි නිශානි නිවසට පැමිණ යළි විශ්වවිද්‍යාලයට යාම සඳහා රාත්‍රියේ කතරගමින් පැමිණෙන මෙම බස් රථයේ යාමට බණ්ඩාරවෙලට පැමිණෙන අතර ඒ ගමන රාත්‍රී එකයි තිහට ආරම්භ කරන බව ඇය පවසයි. දෙවන වසරේ විභාගය සඳහා ඇය නැවත විශ්වවිද්‍යාලය වෙත යාමට මෙසේ නිවසින් පිටත්ව ගොස් තිබේ.

මෙම සිසුවියගේ මව වන සුරංගි රත්නායක එම සිදුවීම පිළිබඳව මෙසේ පැවසුවාය.
“මට දුවලා දෙන්නෙක් ඉන්නවා. මෙයා ලොකු දුව. එයා විශ්වවිද්‍යාලයට යාමට පෙර මහනුවර කුණ්ඩසාලේ කෘෂි තාක්ෂණ විද්‍යාලයට ඇතුල්වෙලා අවුරුදු තුනක් ඉගෙන ගත්තා. ඊට පස්සේ වයඹ විශ්වවිද්‍යාලයට තේරුණා. බස් එක පෙරළුණු දා රාත්‍රී මහත්තයා දුව එක්ක ගියා. බදුල්ලෙන් රාත්‍රී කොළඹ යන බස් එකේ බණ්ඩාරවෙලට ගිහින් එතනින් කතරගම බස් එකට දුව නගිනවා. එදා බස් එක පරක්කු වෙලා ඇවිත් තියෙන්නේ. දුව බස් එකට දැම්මාම එයාගේ තව විශ්වවිද්‍යාල යාළුවෙක් වැලිමඩින් නගිනවා. දෙන්නම යන නිසා අපට බයක් තිබුණේ නෑ.
මහත්තයා දුව බස් එකට දාලා ආවට පස්සේ අපි නිදා ගත්තා. උදේ හතට විතර මට කෝල් එකක් ආවා. කතා කළ අය කීවා දුව ගිය බස් එක අනතුරකට ලක්වෙලා. දුවට කරදරයක් නෑ. කලබල නැතිව ගම්පොළ රෝහලට යන්න කියලා. දැන් දුව ඉන්නේ කොත්මලේ රෝහලේ. අපි තව ටිකකින් එයා ගම්පොළට යවනවා කිව්වා. ඒ සිද්ධියෙන් අපි කලබල වෙන නිසා ඒ කතා කරපු කෙනා ෆෝන් එක දුවටත් දුන්නා. දුව අපට කතා කරලා කිව්වා, අම්මා මට වෙන තුවාල නෑ. අත තමයි ප්‍රශ්නයකට තියෙන්නේ කියලා. අපි ඉක්මනට බදුල්ලෙන් නුවර බස් එකේ ගිහින් ගම්පොළ රෝහලට ආවා. දැන් දුව ළඟ තමයි මම ඉන්නේ”

නිශානි රත්නායක එම බිහිසුණු සිද්ධිය මෙසේ විස්තර කළාය.
“මම බස් එකේ මැද හරියේ වාඩිවෙලා හිටියේ. එකවරම බස් එක ඇලවෙලා පෙරළෙන්න ගත්තා. රවුම් දෙකක් විතර යන කොට මම විසිවෙලා ගියා. ඊට පස්සේ යකඩ ගොඩකට හිර වුණා. මගේ ඔළුව වදියි කියලා මම ගුලි වෙලා ඔළුව පහළට හරවාගෙන හිටියේ.

බස් එක පෙරළිලා නතර වුණාට පස්සේ මම නැගිටින්න උත්සාහ කළා. මගේ ඇඟම හිරි වැටිලා තිබුණේ. අත උස්සන්න බැරි වුණා. මගේ දකුණු අත නිකන් පැද්දෙනවා වගේ දැනුණා. මම වම් අත තියලා බඩ ගාගෙන බස් එකේ ඉස්සරහට එනකොට බස් එකේ තහඩුවක් ගැලවිලා තියෙන තැනක් දැක්කා. එතැනින් මම එළියට ආවා.
එතකොට බස් එකේ හිටිය කෙනෙක් පොඩි ළමයෙක් උස්සාගෙන ආවා. ළමයගේ අයිතිකාරයෙක් නෑ. මේ ළමයා වඩා ගන්න කියලා එයා කිව්වා. එතකොට මම කිව්වා මගේ අත ගැලවිලා අත උස්සන්න බෑ කියලා. ළමයා ගැන මට හරි දුකක් ආවා.

මම බිම වාඩිවුණා. ළමයා උස්සාගෙන හිටි කෙනා දරුවා මගේ උකුලේ තිබ්බා. මම වම් අතින් ඒ ළමයා තුරුළු කරගත්තා. ටික ටික එළිය වැටීගෙන ආවා. මම වේදනාව පිටින් ළමයාව අඬන්න නොදී තුරුළු කර ගත්තා. නුවරඑළිය පැත්ත සීතල වුණත් මගේ උණුසුමට ළමයා මට ගුලි වෙලා හිටියා. විනාඩි 45ක් විතර මම එහෙම ඉන්න ඇති.

පොලිසිය හා අහල පහල පිරිස් ඇවිත් අපි පාරට අරන් ගියා. මමයි ළමයයි කොත්මලේ රෝහලට ගෙනාවා. මම කීවා මේ දරුවාගේ අම්මා හොයලා දෙන්න කියලා. ඒ අය දරුවා ගත්තා. පස්සෙ මමයි තව කීපදෙනකුයි ඇම්බියුලන්ස්වලින් ගම්පොළ රෝහලට ගෙනාවා.

ඇය නොදත් කතාවක් හෙළි වුණේ අපේ කැමරා කාචවලින් බව මට අවබෝධ වුණේ ඇගේ කතාව ඇසූ පසුවයි. ගම්පොළට ගෙනා රෝගීන් අතර කාත් කවුරුවත් නැති පුංචි දරුවකුට ද අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් ගම්පොළ රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය එක්ව ට්‍රොලියක එම දරුවා තබාගෙන රැගෙන ආවේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල වෙත රැගෙන යැම සඳහායි. එහිදී තුවාලකරුවන්ගේ තොරතුරු රැස් කරමින් සිටි පොලිස් නිලධාරියකු ළමයාගේ නම හා භාරකාරයා පිළිබඳව විමසුවද ඒ පිළිබඳ කිසිවක් නොමැති නිසා එහි සිටි හෙදිය සිදු කළේ දරුවාට දී තිබූ රෝහල් අංකය පමණක් ලබාදීමයි.

මම මේ පිළිබඳව එම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවට පැවසූ විට “දරුවා ඉන්නවා නම් ලොකු දෙයක් පෙරළුණු බස් එක ළඟ මම දරුවා වඩාගෙන ඉන්නකොට හැමෝම හිතුවේ ඒ දරුවා මගේ කියලා” යැයි පැවසුවාය.

මෙම බස් රථ අනතුරින් මගීන් විසි දෙදෙනකු මියගිය අතර තුවාල ලැබූ පනස් පස් දෙනෙක් රෝහල් පහකට ඇතුළත් කරනු ලැබූහ. ගම්පොළ ශික්ෂණ රෝහල වෙත තුවාලකරුවන් 28 දෙනකු එවා තිබුණි.

මෙම සියලු දෙනාගේ සුවදුක් විමසීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පැමිණ සිටියාය. ඒ සමග සභා නායක බිමල් රත්නායක, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ෆස්මින් සරීෆ් යන පිරිස ද පැමිණ සිටියහ.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය මෙම සිසුවියගෙන් දීර්ඝ ලෙස තොරතුරු විමසූ අතර ඇගේ උත්සාහය පිළිබඳව ස්තූතිය ද පළ කළාය.

‘දරුවා කාගෙද නොව කාගේ වුණත් දරුවෙකි’ යන්න මෙම සිදුවීමෙන් එම ශිෂ්‍යාව තහවුරු කිරීම සැමටම ආදර්ශයක් ගෙන දෙන්නකි.

ගම්පොළ – සුරංග දිල්හාන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload