‘ඇය අපව බේරා ගත්තා’ – 1983 කළු ජූලියේදී මාලිනී ෆොන්සේකාගේ නිර්භීතකම ගැන ඇසින් දුටු සාක්ෂිකරුවන් කතා කරයි

මාලිනි ෆොන්සේකා නම් වූ රංගනයේ පුරාවෘත්තයක් බඳු වූ ඇය සහ 1983 ඇති වූ ජූලි කලබල ගැන මේ වෙනකොට සමාජයේ කතිකාවතක් ඇති වී තිබෙනවා.

මාලිනි ෆොන්සේකා එවකට සිටියේ බම්බලපිටිය ගාළුපාරේ මහල් නිවාසයකයි.

මැරයින් එම පාරට ඇතුල් වීමට පෙර මාලනිය මැරයොන්ගෙන් ඉල්ලා සිට ඇත්තේ තම අසල්වැසියන්ට කරදර නොකරන ලෙසටයි.

එම දීර්ඝ සම්පුර්ණ සටහන පහතින්,

මාලිනි ෆොන්සේකා රිදී තිරයේ වීරවරියක් පමණක් නොවන්නේ ඇයි?

( ඩිනාලි ප්‍රනාන්දු විසින් තැබූ සටහනකි! මේ සටහනේ ඉංග්‍රීසි සටහන මා උපුටා ගත්තේ මගේ මිතුරිය හසිනි හපුතන්ත්‍රිගේ ෆේස්බුක් බිත්තියෙන්)

….

මේ සටහන මාලිනි ෆොන්සේකා නම් වූ රංගනයේ පුරාවෘත්තයක් බඳු වූ ගැහැනිය සහ 1983 ඇති වූ ජූලි කලබල ගැනයි.

මගේ මිතුරිය සහ ඇගේ අම්මා බම්බලපිටිය ගාළුපාරේ මහල් නිවාසයකයි ජීවත් වුණේ. ඇගේ සහකරු වුණ ලකී ඩයස් එක්ක මාලිනි ජීවත් වුණෙත් ඒ පාරෙම නිවසකයි. එදා ඒ අවාසනාවන්ත උදේ, මැරයො පාරවල් දිගේ මහා විනාසයක් කරගෙන එද්දි මගේ යෙහෙළිය, එයාගෙ අම්මා සහ එයාලගෙ අසල්වැසියො පුදුමාකාර බයකින් බලාගෙන ඉඳලා තිබුණා. කොයි මොහොතක හරි මේ මැරයො තමන්ගෙ පාරටත් එන බව එයාලා දැනගෙන හිටියා. මගේ යෙහෙළිය ඇතුළු හුඟක් දෙනා දමිළ මිනිස්සු.

මේ මැරයො ඒ පාරට ඇතුල්වෙන්න කළින් මාලිනි, ඇය ඇඳගෙන හිටපු රාත්‍රී ඇඳුම පිටින්, ඇයටම අනන්‍ය වුණ ගොතපු දිග කොණ්ඩෙ එක්ක ගාළු පාරට දුවගෙන ආවා. ඇය හිටියෙ අඬමින්. ඇය මේ මැරයොන්ගෙන් ඉල්ලලා හිටියා ඇගේ අසල්වැසියන්ට කරදර කරන්න එපා කියලා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇය අසරණ වුණ කතා නායිකාවගෙ චරිතය තමයි එතන කරේ. මේ මැරයොත්, මුළු රටකුත් ඇය එක්ක ආයේ ආයෙත් ආදරයෙන් බැඳුණු අසරණ වුණ කතා නායිකාව විදිහටයි ඇය හැසිරුණේ.

එතන හිටපු මැරයො ඒ මොහොතෙ හිටියෙ මිනිස්සු හැටියට ඔවුන්ට වැටෙන්න පුළුවන් පහත්ම තැනක. නමුත් ඒ මොහොතේ පවා ඇයට පුළුවන් වුණා ඇගේ අයස්කාන්තභාවය සහ බලය පාවිච්චි කරලා ඔවුන් තුළ තිබ්බ මනුෂ්‍යත්වය මොහොතකට කැඳවන්න. මගේ යෙහෙළිය සහ අනෙක් අය දැක්කා මේ මැරයො තමන් ගෙනාපු ආයුධ අත ඇරලා, ලැජ්ජාවෙන් ආපහු යනවා. අඩුමගාණේ ඒ පාරේ හිටපු මිනිස්සු වෙන්න ගිය විනාසෙන් බේරුණා.

මම මගේ යෙහෙළියව ඒ කාලේ දැනගෙන හිටියෙ නැහැ. අපි විශ්වවිද්‍යාලයෙදි මුණගැහුණෙ ඊටත් අවුරුදු දෙකකට පස්සෙයි. අපි මුණගැහෙද්දිත් ඒ මහා කළු ජූලියේ මතකයන් ජීවමානව අපි අවට තිබ්බා. ඒ ගැන කතා නොකරත් ඒ මතකයන් අපි අතර තිබ්බා. මගේ යෙහෙළිය මට මේ කතාව කිව්වෙ ඊටත් කාලෙකට පස්සෙ.

ඇය මට මේ කතාව කිව්වෙ අපි ඇයව බලන්න ඇගේ බම්බලපිටියෙ මහල් නිවාසෙට ගිය මොහොතකයි. අපි ඉඳගෙන හිටියේ ඇගේ බැල්කනියේ. හරියටම කියනවනම්, අපි ඉඳගෙන හිටියෙ මාලිනි ෆොන්සේකා කියන අයස්කාන්ත, බලගතු නිළිය නිසා බේරුණ ඇගේ නිවසේ බැල්කනියෙ!

අනුවර්තනය: ෂෙනූ පෙරේරා

මුල් සටහන: හසිනි හපුතන්ත්‍රි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post