
පසුගිය 17න්වැනිදා තෙල්දෙණිය මූලික රෝහලේ රථගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළසිරුරක් පසුගිය හමු වූ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
මෙම සිද්ධියට අදාළ කාන්තාව අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස ද කලක් සේවය කර තිබූ බව අනාවරණය වුණා.
ඇය සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමඟ නුවරඑළියේ නවාතැන්පොළකට පැමිණ තිබූ අතර ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයා යාපනය ප්‍රදේශයට පලා යන අතරතුර අත්අඩංගුව ගැනීමට පොලිසියට හැකිවී තිබුණා.
සැකකරුට ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් දීමේ චෝදනා මත කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරෙකුද පසුව අත්අඩංගුවට ගැණුනා.
එවන් පසුබිමක අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දීමේ චෝදනාව මත කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මැණික්හින්න පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයෙක් වන අතර පොලිසියේ උසස් නිලධාරියෙකුගේ නිවුන් සහෝදරයෙකුද වන බවයි පොලිසිය පැවසුවේ.
මෙම පොලිස් නිලධාරියා අදාළ ඝාතනයට ආධාර අනුබල දුන් ආකාරය පිළිබඳව, භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ කරුණු රැසක් පාපොච්චාරණය කර තිබෙනවා.
"සර් මේ කේස් එක වෙලා මම හැංගිලා හිටියේ කුණ්ඩසාලය ප්‍රාදේශීය සභාවේ රියැදුරුගේ ගෙදර.
මම ඒ වෙලාවේ සහය පැතුවේ ඒ ඩ්‍රයිවර්ගෙන්.
එයා තමයි සර් මට මේ පොලිස් නිලධාරියාවත් සම්බන්ධ කළේ.
ඩ්‍රයිවර් මගේ ඉස්සරහා ඒ පොලිස් නිලධාරියාට දුරකථන ඇමතුමක්
ගත්තා.
පසුව එම පොලිස් නිලධාරියා රියැදුරුට කිව්වා ගෙදරට ඇවිල්ලා කතා කරමු කියලා.
ඒ අනුව ඔහු ගෙදරට ආවා.
ඒ ඇවිල්ලා පොලිස් නිලධාරියා මට කිව්වා මගේ මල්ලි උසස් පොලිස් නිලධාරියෙක්, කිසි දෙයකට බය වෙන්න එපා,ඔයාගේ මේ ඩ්‍රයිවර් යාලුවාගේ කේස් දෙකකටත් ඔහුගේ මල්ලි කතා කළා කියලා.
එහෙම තමයි මට ඒ පොලිස් නිලධාරියාව හම්බ වුණේ."
මේ අතර මෙම ප්‍රධාන සැකකරු අදාළ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරුගෙන්ද ලක්ෂ 05ක මුදලක් ලබා ගෙන බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඒ ඔහුගේ බිරිඳ විදෙස්ගත කරන බවට පවසමින්.
එමෙන්ම අදාළ රියැදුරුගේ පුතා විසින් රුපියල් 50,000ක් වටිනා ජංගම දුරකථනයක් සහ සිම් කාඩ්පතක්ද ප්‍රධාන සැකකරු යාපනයට පළාගිය දිනයේදී ලබා දී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ,ඔහුගේ බිරිඳ සහ අත් අඩංගුවට ගත් රියැදුරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන අතර ඔවුන් තිදෙනා සහ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
