අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්


2023 වසරේ ආරම්භ කරන ලද අස්වැසුම වැඩසටහනට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස්වරයා (දුක්ගැනවිලි කළමනාකරණ) ප්‍රකාශ කර තිබේ. අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.

පළමු අදියර යටතේ සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු යන කාණ්ඩ හතර යටතේ ලක්ෂ 16කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ ගෙවීම් සිදුකර තිබේ.

2025 අප්‍රේල් මාසයේදී සංක්‍රාන්තික කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 315,000කට ගෙවීම් නවතා ඇති අතර, ජූනි මාසයේදී අවදානමට ලක්වූ කාණ්ඩයට අයත් තවත් ප්‍රතිලාභීන් 425,000කට ගෙවීම් නවතා ඇති බවද සඳහන් වේ.

එම කාණ්ඩ දෙක තුළ සිටින පවුල් අතර දුප්පත් හෝ අන්ත දිළිඳු තත්ත්වයට පත්ව සිටින අය සිටීනම්, තොරතුරු යාවත්කාලීන කිරීමෙන් අනතුරුව නැවත ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලැබිය හැකි බවද ඔහු පැවසීය.

මෙතෙක් ගෙවීම් සිදුකර ඇත්තේ වසර දෙකකට පෙර ලබාගත් දත්ත මත පදනම්ව බවද වැඩිදුරටත් සඳහන් කෙරිණි.

මේ වනවිට පවුල්වල සමාජ හා ආර්ථික තත්ත්වයන් වෙනස් වී තිබිය හැකි බැවින් නව තොරතුරු සලකා බලා සුදුසුකම් ඇති අය නැවත වැඩසටහනට ඇතුළත් කිරීමේ අවස්ථාව ලබාදී ඇති බවද ඔහු පැහැදිලි කළේය.

සංගණන නිලධාරීන් මගින් තොරතුරු යාවත්කාලීන කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින අතර, ලබාදෙන තොරතුරු මත ලකුණු පදනම් කර ගනිමින් නැවත ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ඇති බවද සඳහන් කර ඇත.

අස්වැසුම යනු ජීවිත කාලය පුරා ලබාදෙන ප්‍රතිලාභයක් නොවන බවත්, සැබවින්ම අවශ්‍ය පවුල් හඳුනාගෙන සහන ලබාදීම අරමුණ බවත් සහකාර කොමසාරිස්වරයා අවධාරණය කළේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post