
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojasteh Bagherzadeh) ඝාතනයට ලක්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇය ඇමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් ලැබූ තුවාල හේතුවෙන් කෝමා තත්ත්වයට පත්ව සිටියදී අද (02) මිය ගොස් ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී නාළිකාව හා එරට ප්‍රමුඛ මාධ්‍ය තහවුරු කර තිබේ. ඇය වයස අවුරුදු 79ක් විය.
ඉරාන මාධ්‍යවලට අනුව, පසුගිය සෙනසුරාදා (28) එල්ල වූ එම ප්‍රහාරවලදීම කමේනි මහතා ඝාතනයට ලක්වූ අතර, ඔහුගේ බිරිඳද එහිදී බරපතල තුවාල ලැබූවාය. ඇය කෝමා තත්ත්වයේ පසුවූ බව මීට පෙර වාර්තා විය.
එම ප්‍රහාරවලදී කමේනිගේ දියණියක්, මුණුබුරෙක්, බෑණා වැනි පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුද ඝාතනයට ලක්ව ඇති බව ඉරාන ප්‍රවෘත්ති මූලාශ්‍ර වාර්තා කර තිබේ.
කමේනි මහතාට හා ඔහුගේ බිරිඳට දරුවන් හය දෙනෙකු සිටි අතර, ඔවුන් අතර පුතුන් හතර දෙනෙකු හා දියණියන් දෙදෙනෙකු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.