
කැස්ස, හෙම්බිරිස්සාව, ඉන්ෆ්ලුවෙන්සාව (Flu) පමණක් නොව, පෙනහළු ආසාදනය කරන බැක්ටීරියා සහ ඇදුම වැනි අසාත්මිකතාවන්ට පවා එරෙහිව සටන් කළ හැකි තනි "විශ්වීය එන්නතක්" (Universal Vaccine) ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාවේ උපන් ප්‍රතිශක්ති විද්‍යාඥ මහාචාර්ය බාලි පුලේන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම පර්යේෂණය, වසර 200ක එන්නත් ඉතිහාසය වෙනස් කරන "විප්ලවීය පියවරක්" වශයෙන් විද්‍යාඥයෝ හඳුන්වන බව සඳහන්.
ඒ සාමාන්‍යයෙන් එන්නතක් නිපදවීම සිදු වන්නේ එක් නිශ්චිත රෝගයකට (උදා: සරම්ප හෝ පැපොල) එරෙහිව පමණක් වීම නිසයි.
එසේ වුවත් මෙම නව එන්නත නාසයට විදින ස්ප්‍රේ එකක් (Nasal Spray) වශයෙන් ලබා දෙන අතර, එමගින් ඕනෑම වෛරසයකට හෝ බැක්ටීරියාවකට එරෙහිව සටන් කිරීමට ශරීරය සූදානම් කරන බව සඳහන්.
මෙය ශරීරයේ ප්‍රතිශක්තිකරණ සෛල එකිනෙකා සමඟ සන්නිවේදනය කරන ආකාරය අනුකරණය කර ඒ ඔස්සේ පෙනහළුවල ඇති සුදු රුධිරාණු ඕනෑම ආක්‍රමණිකයෙකුට එරෙහිව සටන් කිරීමට සීරුවෙන් (Amber Alert) තබයි.
මේ අතර මෙමගින් වෛරස් ශරීරයට ඇතුළු වීම 100 ගුණයක සිට 1000 ගුණය දක්වා ප්‍රමාණයකින් අඩු කරන බව සතුන් යොදාගෙන කළ පරීක්ෂණවලදී පෙනී ගොස් ඇත. එසේම එහි බලපෑම මාස තුනක් පමණ පවතින බවත් සොයාගෙන ඇත.
අඳාළ එන්නත මඟින් නිවාසවල දූවිලි මයිටාවන් හේතුවෙන් ඇතිවන අසාත්මිකතා සහ ඇදුම රෝගී තත්ත්වයන් පවා පාලනය කිරීමට හැකි බවයි මහාචාර්ය පුලේන්ද්‍රන් ප්‍රකාශ කරයි.
"අපි මෙය හඳුන්වන්නේ 'විශ්වීය එන්නතක්' ලෙසයි.මෙය ඉන්ෆ්ලුවෙන්සා හෝ කොවිඩ්වලට පමණක් නොව, සාමාන්‍ය හෙම්බිරිස්සාවට වගේම අප පරීක්ෂා කළ සෑම බැක්ටීරියාවකටම එරෙහිව පුළුල් ආරක්ෂාවක් ලබා දෙනවා."
මේ අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩැනියෙලා ෆෙරේරා ප්‍රකාශ කරන්නේ මෙය ශ්වසන රෝගවලින් මිනිසුන් ආරක්ෂා කරන ආකාරය සහමුලින්ම වෙනස් කළ හැකි "ඉතා උද්යෝගිමත් පර්යේෂණයක්" බවයි.
එමෙන්ම මෙම එන්නත මිනිසුන් යොදාගෙන සිදුකරන සායනික පරීක්ෂණ (Clinical Trials) ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.
කෙසේ හෝ එය සාර්ථක වුවහොත් අනාගතයේදී රෝග රැසකට වෙන් වෙන්ව එන්නත් ලබා ගැනීමේ අවශ්‍යතාවය නැති වෙන බව අපේක්ෂා කරයි.