
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා අද (11) නියෝග කළා.
වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන් හය දෙනා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කරනු ලැබුවා.
රිමාන්ඩ් භාරයට ගැනුණු පිරිස අතරට අයත් ජනප්‍රිය නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගේ පුත්‍රයා සහ තවත් අයෙක් පරිවාස භාරයට පත්කෙරුණා.
පියුමි හංසමාලිගේ පුත්‍රයාගේ හිතවතෙකු මීට මාස කීපයකට ඉහතදී යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශයේ යමින් සිටියදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත් සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පිරිස ත්‍රීරෝද රථ රියදුරුට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
පහර කෑමට ලක්වූූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
පහර කෑමට ලක් වූ ත්‍රී රෝද රථ රියදුරා වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම සිද්ධිය මීට මාස තුනකට පමණ පෙරදී සිදුව ඇති බවත් සැකකරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනයවී ඇති බැවින් ඔවුන් පෙරෙට්ටුවකට ඉදිරිපත් නොකරන ලෙසත් ඔවුන් ඇපමත මුදා හරිනන ලෙසත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකළා.
පැමිණිල්ල මෙහෙයවූ පොලිසිය හා සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පියුමි හංසිමාලිගේ පුත්‍රයා මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔහු රුපියල් ලක්ෂ පහක් වටිනා ශරීර ඇප මත මුදා හැර තිබුණා.