දිට්වා කුණාටුව ගැන අනාවරණයක්


දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවගෙන් සියයට 93ක පිරිසකගේ ජීවනෝපායට බලපෑම් එල්ල වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රකාශ කරයි. එම සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීමේ කටයුතු සඳහා යම් යම් බාධා එල්ල වී ඇති බවට සමීක්ෂණ වාර්තාවක් එළිදක්වමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

එම සුළි කුණාටුවෙන් වඩාත්ම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක විසිදෙකෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 85ක් ආවරණය කරමින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙන අතර එහි ප්‍රතිඵල මත අදාළ වාර්තාව එළිදක්වා තිබේ.

ඒ අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 95ක්ම තම ප්‍රදේශවල නේවාසික, කාර්මික හෝ ප්‍රජා යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති බවට එම වාර්තාව මඟින් පෙන්වා දී තිබෙන අතර ඒ අතරට නිවාස සහ මාර්ග වැඩි සංඛ්‍යාවක් ඇතුළත් බවද සඳහන් කරයි. සුළි කුණාටුවෙන් හානියට පත් යටිතල පහසුකම් නැවත ගොඩනැංවීමේදී සහ අනුමැතීන් ලබාගැනීමේ දී ඊට අදාළ ආයතන අතර පවතින දුර්වල සම්බන්ධීකරණය නිසා ප්‍රමාදයන් සිදුවන බවට හඳුනාගෙන තිබෙන අතර ඉදිකිරීම් කටයුතු සඳහා ගොඩනැඟිලි ද්‍රව්‍යවල හිඟයක් පවතින බවද ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාගැනීමේදී ඇතැම් ජනතාවට සීමාවන්ට මුහුණදීමට සිදුව ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි. ආපදාවට ලක්වූ ප්‍රදේශවල සියයට 93ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම් එල්ල වී ඇති බව සඳහන් කර ඇති අතර, ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කරගැනීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සිය වාර්තාව මඟින් ප්‍රකාශ කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post