
රජයට බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිහාර මහාරච්චි මහතා හමුවේ මෙම පැමිණිල්ල කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.
වගඋත්තරකරුවන් දෙදෙනා 2022/2023 වර්ෂ සඳහා රුපියල් මිලියන 419ක ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව පියුමි හංසමාලී රුපියල් මිලියන 225 ක් විරංජිත් තාඹුගල මහතා රුපියල් මිලියන 194 ක් ආදායම් බදු ගෙවීම පැහැර හැර තිබුණා.
සැකකරුවන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත උල්ලංඝනය කරමින් බදු පරිපාලනයට බාධා කිරීම, බදු ලිපිගොනු නිසි පරිදි පවත්වාගෙන නොයෑම සහ බදු ගෙවීම පැහැර හැරීම යන අපරාධමය වරදවල් සිදු කර ඇති බවට දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් මෙම පැමිණිලි ගොනු කර තිබෙනවා.
නීතිඥ දිනේෂ් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පැමිණිලිවලට එරෙහිව පියුමි හංසමාලී විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නියෝගයක් නිකුත් වී නොමැති බවයි.
එම බදු මුදල්, දඩ සහ පොලිය අය කර ගැනීම සඳහා ඉදිරියේදී මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන අප්‍රේල් මස 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.