සචිත්‍ර මැරුනේ බලෙන් කසිප්පු පොවලාද?

අනුරාධපුරයෙනුත් ඈත ජයසිරිපුර ගමේ අක්කලා දෙදෙනක් ළඟට බාලයා වී සචිත්‍ර ඉපදෙන්නේ පවුලේ එකම පිරිමි දරුවා ලෙසිනි. මිල මුදල් මහා ලොකුවට අත නොගැවසුණත් ඒ අම්මා අප්පච්චි හොඳින් ඉගෙන ගත්තෝ වූහ. සචිත්‍රගේ අප්පච්චී ටී.එම්. වික්‍රමතුංග වූ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු ලෙස කලක් කොළඹ ව්‍යාපෘති නිලධාරියකු වී වැඩ කළේය.

ඔහු රැකියාවට ආයුබෝවන් කියා අනුරාධපුරයට එන්නේ දරු තිදෙනා බලාගන්නටය. සචිත්‍රගේ අම්මා අශෝකා නන්දනී අධ්‍යාපනවේදී උපාධිධාරිනියකි. ඇය අනුරාධපුරයේම ගුරුවරියක ලෙස සේවය කළාය. ඔවුනට ඕනෑ වූයේ දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් දෙන්නය. අම්මාගේ එකම ගුරු පඩියෙන් ජීවිතය ගැටගහගෙන යන ගමනේ, ඒ දරුවෝ මව්පිය සිහින එකින් එක ඉටු කළහ.

වැඩිමල් දියණිය සඳුනිකා රසායනාගාර ශිල්පිණියක වූයේත් දෙවැන්නිය වූ යශෝධා ගුරුවරියක වූයේත් අම්මා අප්පච්චිගේ ඒ තල්ලුව නිසාය. සචිත්‍ර නිර්මාල්ට ඕනෑ වූයේ ඔය වගේ රැකියාවලින් ඉගෙනීම අවසන් කරන්නට නොවේ. ඔහුට වූයේ තාක්ෂණය හා බැඳුණ හිතකි. ඒ නිසා වාණිජ අංශයෙන් තොරතුරු තාක්ෂණය විෂය ද ඇතුළුව ඔහු උසස් පෙළ හැදෑරුවේ ඒ අංශයෙන් අනාගත රැකියාව තෝරා ගන්නටය.

ඒ පවුලේ සියලුදෙනා ළඟ වූයේ අසීමාන්තික දූ දරු සහෝදර ප්‍රේමයකි. ඒ නිසාම පවුල ඇතුළේ යහපත් ගතිගුණ හුරු වූවා මිස සචිත්‍ර ළඟ කොලුකමට හෝ කළ නරක පුරුද්දක් කියන්නට දෙයක් තිබුණේ නැත.

උසස් පෙළ විභාගයෙන් සරසවි යෑම එකම අරමුණ කරගත් සචිත්‍රට විභාගයෙන් A සාමාර්ථයක් B සාමාර්ථයක් හා C සාමාර්ථයක් ලැබුණි. සචිත්‍රගේ ප්‍රතිඵල අනුව ඔහු තේරුණේ වව්නියාව විශ්වවිද්‍යාලයටය.

‘‘මල්ලිට හිතේ දෙගිඩියාවක් තිබ්බෙ රැග් එක ගැන විතරයි. ඒකට හේතුවක් තිබ්බා. ඔහු විශ්වවිද්‍යාලයට තේරුණු කාලේ තමයි සබරගමුව විශ්වවිද්‍යාලයේ ළමයෙක් රැග් වෙලා නැති වුණේ. ඒත් ඔහු ආසාවෙන් එහි යන්නට සිටියා.’’

සචිත්‍ර නිර්මාල් වව්නියා විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කටයුතු අරඹන්නට යන්නේ අගෝස්තු මාසයේය. එදා සචිත්‍ර වව්නියා විශ්වවිද්‍යාලයට ගියේ ලොකු අක්කාත් සැමියාත්, අම්මා හා අප්පච්චි මැදිකරගෙන අක්කාගේ වාහනයේය. සචිත්‍ර ඇතුළු අලුත් දරුවන් ඇරලවන්න ආ කිසිවකුටත් තම දරුවන් ගැන කිසිදු බියක් ඇති නොවූයේ ඔවුන් අලුත් ළමුන් හා මව්පියන් ලොකු පිළිගැනීමේ උත්සවයක් පවත්වා පිළිගත් නිසාය. විශ්වවිද්‍යාලේ පාලනාධිකාරියද මව්පියන් සමග බොහෝ සුදහව කතා කර තිබුණි. ඔවුන්ගේ දුරකථන අංකද දෙමාපියන්ට දී තිබුණේය. ඒ නිසා සචිත්‍ර විශ්වවිද්‍යාලයට භාරකර ඔවුන් නිවසට ආවේ සැහැල්ලුවෙනි. ඒත් වසර විසිගණනක් මව්පිය සෙවණේ නිවසේම රැඳුණු පොඩි එකා නිවසේ නැති පළමු දිනය ඔවුන් ගෙවා ගත්තේ අමාරුවෙනි. දවසින් දවස ගෙවෙද්දී, ඒ තනිකමට ද ඔවුහු හුරුවූහ. හැමදාමත් හැන්දෑවට අනුරාධපුරයේ සිටි අම්මා අප්පච්චිත් මහියංගනයේ සිටි ලොකු අක්කාත්, පොළොන්නරුවේ, අත්තනකඩවල ඉස්කෝලෙ උගන්වන්නට ගොස් සිටි පොඩි අක්කාත් සචිත්‍ර හා වට්ස්ඇප් වීඩියෝ ඇමතුමකින් කතා කිරීම පුරුද්දක් කර ගත්හ. ඒ අතරේ ඔහු හැමදාමත් සිකුරාදා සවස ගෙදර ආවේය. යශෝධා ද හැම සිකුරාදාම පොළොන්නරුවේ සිට ගෙදර ආවාය. ඒ අම්මා තාත්තා තනියෙන් නිවසේ සිටින නිසාය. ගෙදර එන සචිත්‍ර, යශෝධා දෙන සල්ලිත් අරන් පොළට ගොස්, අම්මලාට සතියකට සෑහෙන බඩු ගෙන එන්නේය. එය ඔහු අතින් හැම සෙනසුරාදාවකම වූ කටයුත්තකි. දරුවන් වෙනුවෙන්ම කැපවුණු අශෝකා මේ කාලය වන විට අධි රුධිර පීඩන රෝගියෙක් වූ අතර වික්‍රමදාස අංශභාග රෝගයට ගොදුරුව ප්‍රතිකාර මැද සුවය ලබමින් සිටියේය.

‘‘මල්ලි කොහොමද රැග් වෙනවද? ප්‍රශ්න මොකුත් නෑ නේද?’’

අම්මා අප්පච්චි මගහැර විටෙක යශෝදා සචිත්‍රගෙන් ගෙදර දී අසන්නීය.

‘‘රැග් එක නම් ටිකක් තියෙනවා අක්කේ. ඒක මට ඉවසන්න පුළුවන්.’’

සචිත්‍ර සතුටින් සිටින්නේ එය එහි දරුණුවට නැති නිසා බවට පවුලේ අය සිතා සිටියහ. එසේ සිතා සිටි ලොකු අක්කාටත් පොඩි අක්කාටත් ළඟදී දවසක සචිත්‍ර කිසිදා නොකියූ කතාවක් කීවේය.

‘‘පැරා බැච් එකේ ඉන්න රෙෆා පළමුවෙනි අවුරුද්දෙ අයගෙ ටෙලිෆෝන් නොම්මර අරන් ලිස්ට් එකක් හදල සෙකන්ඩ් ඉයර්ස්වලට දීලා. ඒ නොම්මරවලට ඒ අයට එක එක්කෙනාට රෑට කතා කරල කාමරවලට ගෙන්න ගෙන රැග් කරනවා අක්කේ. හැබැයි මං නම් ඔය වැඩේට ප්‍රසිද්ධියේ විරුද්ධ වුණා...’

සචිත්‍රගේ කතාවට ඔවුන්ට පුංචි බියක් ද ඇති වුණේය. ඔය කියන ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ වැඩවලට විරුද්ධ වී ඔවුන්ගේ උදහසට ලක්වී නපුරක් වුණොත් කියා සචිත්‍රගේ අක්කලා දෙදෙනාම ඔහුට අවවාද කළහ. එවැනිම තවත් සිද්ධියක් මීට සති දෙකකට පමණ කලින් ගෙදර ආ මොහොතේ සචිත්‍ර යශෝධා හා කිව්වේය.

‘‘අපේ පළමුවෙනි සෙමෙස්ට්‍රියේ විභාගෙන් හොඳ ප්‍රතිඵල ගත්ත කට්ටියව කැම්පස් එකෙන් කොළඹ එක්න ගියානේ, මාත් අහුවුණා කට්ටියට. 15 දෙනයි එක්ක ගියේ. කොළඹ ලොකු අයි.ටී. කොම්පැණියක තමයි වර්ක්ෂොප් එක තිබුණේ. ඉතින් එන ගමනේ අපි ඔය කට්ටියම නට නටා සිංදු කිය කිය විනෝද වෙමින් ආවේ. ඔය බැච් එකේ ඩීන්ලා ලෙක්චරස්ලාත් හිටියා. ඒ ගොල්ලන්ට ළමයි කරන කියන ඒවා ගාණක් වුණේ නෑ. ඔහොම නටද්දී අපේ පිරිමි ළමයෙක්ගෙ අත ගෑනු ළමයෙක්ගේ අතේ වැදිලා ඒකට ඒ ගෑනු ළමයි කියපු දේවල්. නරක වචනවලින් පවා බැන්නා. මේක බලාගෙන අහගෙන ඉඳලා බැරිම තැන මං කතා කළා, අපේ අතින් නොදැනුවත්ව වැරැද්දක් වෙන්න ඇති. ඒකට සමාවෙන්න කිව්වත් ඇහුවෙ නෑ ඒ ගෑනු ළමයි දෙන්නා. මං අන්තිමට කිව්වා එහෙනම් ඔයාල අපේ ගෑනු ළමයි එක්කත් කතා කරන්න එපා කියලා.’’

එවර ද යශෝධා කීවේ මල්ලිට පාඩුවේ ඉගෙනගන්නා ලෙසය.

පසුගිය බදාදා දිනයේ සචිත්‍ර යශෝධාට රෑ 11.30 ට දුරකථන ඇමතුමක් ගෙන තිබූ නමුත් කිසිදා ලෙස නොවී එම ඇමතුම ඇයට මගහැරී තිබුණේය. ඒ නිසා එය දුටු පසුදා පාන්දර පහට ඇය ඔහුට ඇමතුමක් ගත්තාය. වෙනදා එක්වරම නාද වෙද්දී ඇමතුම ගන්නා සචිත්‍ර ඒ මොහොතේ යශෝධාට කතා කළේ ඇමතුම් හතරක් පහක් ගත්තාට පසුවය.

‘‘මට නිදි මතයි ෆෝන් එක තියන්න කිව්වා. මල්ලි කවදාවත් එහෙම කියන්නෙ නෑ... එදාම මල්ලි එයාගේ ඉස්කෝලෙ යාළුවෙක් වුණ කෞෂල්‍යට කතා කරලා තියෙනවා. එයාට කිව්වලු ‘‘මචං මට මේ සතියෙ ඇවිල්ලා උඹලට ලොකු විස්තරයක් කියන්න තියෙනවා කියලා.’’ එදා හවස වට්ස් ඇප් එකෙන් කතා කරද්දි මල්ලි හරි සතුටෙන් කතා කළේ. ඒ පහුවදා තියෙන සෝෂල් එකෙක් පස්සේ රැග් එක නැති වෙනවනේ කියලා.

සචිත්‍ර නැවත කතා කර තිබුණේ ඊට පසුදා සිකුරාදා දවල් 12ට පමණ ඔහුගේ අම්මාටය.

‘‘අම්මෙ මට ආයෙ ගන්න වෙන්නෙ නෑ අද සෝෂල් එකනේ ‘නවකවදය අවසන් සාදය’ හෙට සෙනසුරාදා උදේ මං ගෙදර එනවා.’’

සිකුරාදා දවසම සචිත්‍ර කතා කළේ එපමණකි. ඒ වන විට සචිත්‍රගේ ලොකු අක්කාද ගෙදර විත් සිටි​ය නිසා ඔහු සෙනසුරාදා ද හමුවීමේ සතුට ඔවුහු සිතින් විඳිමින් සිටියහ.

අශෝකා සුපුරුදු ලෙස සෙනසුරාදා උදයේම ගෙදර එන සචිත්‍රට කෑම හදන්නට නැගිට්ටාය. පාන්දර 5ට ඇය පුතුට ඇමතුමක් ගත්තද සචිත්‍ර ඊට කතා කළේ නැත. පෙරදා සාදයක් පැවැති නිසා තවමත් ඔහු නිදි ඇතැයි සිතමින් කෑම හදන අශෝකා සචිත්‍ර දුරකථනයට කතා නොකළ බවත් තවම නිදි ඇති බවත් වැඩිමල් දියණියට කියනු යශෝදාට ද ඇසුණි. ඒ නිසා ඔවුන් කවරෙක්වත් ඔහුගේ නින්දට බාධා කරන්නට ගියේ නැත.

මිදුල අතුගාමින් සිටි යශෝදාට එක්වරම දුරකථනය අතට ගන්නට සිතුණි. ඒ සමග ඇගේ ඇස ගැටෙන්නේ වව්නියාව විශ්වවිද්‍යාලයේ ඉමේෂ් මිතුරු ඇරයුමක් යොමු කරමින් අක්කා යනුවෙන් කෙටි පණිවුඩයක් තබා ඇති අන්දමයි.

‘‘ඒ මල්ලිලාගේ රෙෆා. මං කියන්න මල්ලි කියල... ලිව්වම එයාගේ ෆෝන් නොම්මරේ එව්වා කෝල් එකක් ගන්න කියලා. මොකක් හරි හදිසියක් වෙන්න ඇති කියලා හිතිල මං ගත්තා. අපි හැමෝම මල්ලි ගෙදර එනකම් මගබලාගෙන ඉන්දැද්දි එයා කිව්වා ‘‘අක්කෙ කලබල වෙන්න එපා, සචිත්‍ර නැති වුණා කියලා. මට ඒක විශ්වාස කරන්න බැරි වුණා. ඔයාලා ඉන්නෙ කොහෙද අපි වාහනයක් එවන්නම් ඉක්මනට පුවරසම්කුලම ඉස්පිරිතාලෙට එන්න කියනවත් ඇහුණා. මං කෝල් එක කට් කරලා කෑ ගහගෙන ගෙට ගිහින් විස්තරේ කිව්වා.’’

ගෙදර සතුටේ කුමාරයා එනතුරු මගබලා ගෙන සිටි සියලු දෙනාගේම මුවින් විලාප නැගෙද්දී අසල්වාසීහු ද දිව ආහ.

ඒ මොහොතේ ලොකු අක්කගේ වාහනය තිබූ නිසා ඔවුහු කඳුළු සලමින්ම වව්නියාව බලා පිටත් වූහ.

‘‘අපි පුවරසම්කුලම ඉස්පිරිතාලෙට 10 වෙනකොට ගියා. ඒ යන කොට සීනියර් ජූනියර් ළමයි 150 ක් විතර හිටියා. අර රෙෆා ඉස්සරට ඇවිත් කතා කළා. ඒ වෙලාවෙ කිව්වා, මීට සති තුනකට විතර කලින් මල්ලිට උණ හැදිලා සෙම වැඩිවෙලා මේ ඉස්පිරිතාලෙම දවසක් හිටියා. වීස් එක වැඩිවුණාද දන්නෙ නෑ කියලා. අපෙ මල්ලිට වීස් එක තියා යන්තම් සෙම අමාරුවක්වත් තිබ්බෙ නෑ. අපි ඉස්පිරිතාලෙ ඇතුළට ගියා. බෝඩ් එකේ ට්‍රොලියක දාලා වහලා ඉන්නෙ මල්ලි කියලා පෙන්නුවා. මං වහලා තිබ්බ බෙඩ් ෂීට් එක ඇරියා. මගෙ රත්තරං මල්ලිගෙ මූණ ඔළුව බැඳලා, අතපය බැඳලා මළකඳක් වෙලා හිටියා. මූණෙ ලස්සන හිනාවක් තිබ්බා.’’

ඔවුන්ට ඒ රෝහලක් බව අමතක විය. සවිත්‍රට පණ නෑ කියා දැනුණේ නැත. ඔහුව බදාගෙන හිතේ දුකට කෑගසා ඇඬූහ. ඒ රෝහලින් ඔවුන්ට කීවේ සචිත්‍ර ගෙනවිත් තිබුණේ උදේ 7.25ට බවයි. ඒ වන විටත් මියගොස් පැය තුනක් පමණ ඉක්ම ඇති බවද කියැවිණි. ඒ නමුත් ඔවුන් ගෙන ආ මොහොතේ හෘද සම්බාහනය දී ඇත.

‘‘ඒ වෙලාවේ මල්ලිගෙ කටින් සැර තද ගුරු පාට ගුළියක් එළියට ආවා කියලා ඒ ඩොක්ටර් කිව්වා. ටිකක් වෙලා යද්දි ළමයි දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම ගිහින් හිටියා. මරණ පරීක්ෂණය කරන්න එනවා කිය කියා මෝචරියටවත් නොදා උදේ ඉඳලා මල්ලිගේ දේහය හැන්දෑවේ හයවෙනකම් ට්‍රොලිය උඩ තිබ්බා. අපි වව්නියා ගෙනියන්න ඉල්ලූ විට වාහනයක් සොයා ගන්න කිව්වා. අපි හර්ස් එකක් කතා කරගෙන වව්නියා රෝහලට අරන් ගියාම එයාලා මෝචරියට දාලා පහුවදා උදේ 8.30 ට එන්න කිව්වා.’’

ඔවුහු ඊට පසුදා යළි වව්නියා රෝහලට ගියහ. එදා අධිකරණ වෛද්‍ය නිලධාරියා පැමිණ තිබුණේ සවස 1.00ට ය. පැය තුනකට වඩා පශ්චාත් මරණ පරීක්ෂණය කළ බව යශෝධා කියන්නීය.

‘‘අපි අධිකරණ වෛද්‍ය නිලධාරිනිය එක්ක කතා කළා. හාට් ඇටෑක්, ස්ට්‍රොක් වගේ කිසිම ලෙඩක් මල්ලිට තිබිලා නෑ කිව්වා. බීපු දෙයක් විෂ වෙලා වමනයට ඇවිත් ගලනාලයේ හිරවෙලා වගේ දෙයක් කිව්වා. ඒ පැත්තේ එහෙම සිද්ධි වෙනවලු. කොක්ටේල් කියලා, කසිප්පු දෙන්නෙ කිව්වා. අපිට මරණ සහතිකයක් දුන්නෙ නෑ. රෝසපාට කොළයක් දුන්නේ. මරනේ පුච්චන්න එපා කිව්වා. පරීක්ෂණ සඳහා සාම්පල ගත් බවත් කිව්වා.’’

වෛද්‍යවරිය සචිත්‍රගේ මරණය සම්බන්ධයෙන් දී තිබුණේ විවෘත තීන්දුවකි. සචිත්‍රට උපන් නිවසට එන්නට හැකි වූයේ මියගොස් දින දෙකකට පසුවය. ඒද බොහෝ රෑබෝවීය.

‘‘ඊට පහුවදා හවස අවසන් කටයුතු කළා. ඔය තරමින් හරි ගන්න පුළුවන් වුණේ භික්ෂු විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිව ඉන්න අම්මගෙ සහෝදරයා මැදිහත් වුණ නිසා. එයා ගියා. අපිට දුක දීලා. අපි තවම ඉන්නෙ වුණේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව. මල්ලි ගියේ ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා. අපි ඒවට උත්තර හොයනවා දැන්.’’

යශෝධා කියන්නේ සචිත්‍රගේ මරණය ඔවුන් මැසේජ් දදා හොරට දැනුම් දුන් බවයි. මිය ගොස් ඇත්තේ වව්නියා විශ්වවිද්‍යාලයේ සිසුවෙක් වුවත් මේවනතුරුත් වව්නියාව විශ්වවිද්‍යාලයේ එක පාලකයෙක් හෝ මේ සම්බන්ධව කිසිම දෙයක් ඔවුන් සමග කතාකර නැති බවය. මළගෙදරද නොආ බවයි. ඔවුන් කියන්නේ ජීවිතේට සිගරට් එකක් වත් නොබොන සහෝදරයාට මේසා මත්වතුර පොවන්නට ඇත්තේ බලෙන් බවය.

‘‘අපේ අක්කා මේ මරණය සැක සහිතයි කියලා පුවරසම්කුලම පොලිසියට පැමිණිලි කරන්නට ගියාම ලියන්න බෑ කියලා තිබුණා. කැම්පස් එකෙන් පැමිණිල්ලක් දාලා තියෙන්නේ කියලා. අක්කා බලෙන් තමයි පැමිණිල්ල ලියවලා තියෙන්නේ.

අපිට වව්නියා විශ්වවිද්‍යාලයෙන් සහ රජයෙන් මේවට උත්තර ඕන. අපි එදා මල්ලි බාරදීලා ඇවිත් මාස තුනක් යන්න කලින් අපිට බාර දුන්නේ එයාගේ මළකඳ. අපි කියන්නේ නවකවදය මල්ලිව මරා ගත්තා. හැම අවුරුද්දකම මේක සාපයක් වගේ වෙනවා. මේ වැරදි කරන්නන්ට දඬුවම් දෙන්න. එහෙම කළා කියලා ආයේ මල්ලිට පණ එන්නෙ නැති වුණත් තව ළමයකුට මේ ඉරණම අත් නොවේවි නේද එතකොට.’’

සචිත්‍රගේ පවුලේ අය ඔහුගේ මරණය වෙනුවෙන් ඉල්ලන්නේ එය පමණි.

බියංකා නානායක්කාර (ඉරිදා අරුණ)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post