කුඩා දරු දෙදෙනා අසරණයි ගම්පොළින් ඇසෙන දුක හිතෙන කතාවක්

මැදපෙරදිග ගෘහ සේවයට යැවූ බිරිඳට වැටුප් නොදී එරට හාම්පුතා පහර දෙද්දී මෙරට ඒජන්සිකරු හා සහායක තැරව්කරුවන් දෙදෙනකු ඇගේ සැමියාට පහර දීම නිසා ඔහු ගම්පොළ පුස්සැල්ලාව වහුගපිටිය රෝහලට (දොළහ දින රාත්‍රී) ඇතුළත් කර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පුස්සැල්ලාව පොලිසිය පවසයි.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ පුස්සැල්ලාව පෙරට්ටාසි වත්තේ පුංචිගොඩ පදිංචි 27 හැවිරිදි විග්නේෂ්වරන් නමැති අයයි.

මෙම පහර දීමට සම්බන්ධ පුද්ගලයන් ලෙස සෙල්වකුමාර් හා බාලසුභ්‍රමණියම් යන අයගේ නම් ඇතුළත්ව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

රෝහල්ගතව සිටින මොහුගේ බිරිඳ සවුදිවල ගෘහ සේවිකාවක ලෙස ගිය ද වැටුප් නොදීම නිසා ඇය ඒ පිළිබඳව විමසීමේදී ඇයට එම නිවසේ අය දරුණු ලෙස පහරදී ඇතැයි විග්නේෂ්වරන් මෙරට විදේශ කාර්යාංශයට පැමිණිලි කර ඇත.

කේ. දර්ශනි නමැති විසි හය හැවිරිදි මෙම කාන්තාව විදේශගත කිරීමට මුල් වූ කොළඹ ඒජන්සිකරු හමුවීමට ද එම කාර්යාලයට ගිය විග්නේෂ්වරන්ට එහිදී පහර දුන්නැයි ඔහු කොළඹ කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම ඒජන්සියේදී ඔහුට තර්ජනය කිරීම නිසා මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා කොළඹ යෑමට බිය වී ඇති විග්නේෂ්වරන් ඒ පිළිබඳව ගම්පොළ පුස්සැල්ලාව පොලිසියට පැමිණිලි කර ඇත්තේ මෙයට හවුල් වූ පෙරේට්ටාසි වත්තේ පදිංචි තැරව්කරුවන් ද ගෙන්වා මෙය විභාග කරන ලෙස ඉල්ලමිනි.

ඒ අනුව එම විභාගය ඊයේට (13 දා) යෙදී තිබියදී 12 දා රාත්‍රියේදී ඒජන්සිකරුගේ තැරව්කරුවන් දෙදෙනකු පැමිණ විග්නේෂ්වරන්ට පොල්ලකින් හා ගල්වලින් පහරදී අතේ කැපුම් තුවාල සිදුකර පලා ගිය බව ඔහු මෙසේ පුස්සැල්ලාව පොලිසියට පැමිණි කර තිබේ.

සැමියා හා බිරිඳ මෙසේ පහර කෑමට ලක් වෙද්දී ඔවුන්ගේ වයස අවුරුදු හතරක හා හතක දරු දෙදෙනා අසරණව සිටිති. විග්නේෂ්වරන් ඉල්ලා සිටින්නේ රෝගීවී සිටින විදේශගත බිරිඳ යළි ලංකාවට ගෙනවිත් දෙන ලෙසය. මෙම පහරදීම පිළිබඳව පරීක්ෂණ පවත්වන පුස්සැල්ලාව පොලිසිය කොළඹ ඒජන්සිකරු හා අනෙකුත් තැරව්කරුවන් දෙදෙනා පොලිසියට රැගෙන ඒමට කටයුතු යොදා තිබේ.

ගම්පොළ – සුරංග දිල්හාන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post