
වවුනියාවේ කල්මඩු, පුම්පුකාරි ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී සිය බිරිඳ ඝාතනය කළ බවට චෝදනා ලත් සැමියෙකු මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී ඊයේ (05) දින අත්අඩංගුවට ගත් බව ඊච්චන්කුලම පොලිසිය වාර්තා කරයි. සැකකරු, පෙරේදා සවස් කාලයේ මෙම අපරාධය සිදු කිරීමෙන් අනතුරුව සිය කුඩා දියණිය ද රැගෙන පළා යමින් සිටියදී ඊයේ අලුයම මෙලෙස පොලිස් භාරයට පත්ව තිබේ.
මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාමක්කිලි සින්ධුජා නැමැති 25 හැවිරිදි එක්දරු මවකි. පොලිස් විමර්ශනවලට අනුව, ඝාතනය සිදුවීමට පෙර මෙම කාන්තාව රෝගී තත්ත්වයක් සඳහා සිය සැමියා සහ දරුවා සමඟ බෙහෙත් ගැනීමට ගොස් නැවත නිවසට පැමිණ තිබේ.
ඉන් අනතුරුව සැකකාර සැමියා දරුවා ද රැගෙන නිවසින් පිටව ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇත.
පසුව නිවස පිටතින් දොරගුළු දමා තිබීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සිදුකළ පරීක්ෂාවකදී, නිවසේ කාමරයක් තුළ තිබී කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇත. මරණකාරියගේ හිස ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි. සැමියා විසින් රැගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ අවුරුදු දෙකක් වයසැති ගැහැනු දරුවාය.
පවුල් ආරවුලක් මෙම ඝාතනයට මුල් වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වවුනියාව මහ රෝහලේ තැන්පත් කර ඇත. මඩකලපුව, එරාවුර් හි පදිංචිකරුවෙකු වන මෙම සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.