මාව ඇන්ටි-ගවමන්ට් කරාට පේජ් කාරයො පව්.. - කුඩු විවේචනය' ගැන සංගීත්ගෙන් පැහැදිලි කිරීමක්


මාලිමා රජයට දේශපාලන වශයෙන් සහය දක්වන බව මැතිවරණ සමයේ ප්‍රකාශ කර තිබූ ප්‍රකට සංගීත ශිල්පී සංගීත් විජේසූරිය පසුගිය දිනක ඕස්ට්‍රෙලියාවේදී නිවේදක කිංස්ලි රත්නායක සමග කළ දීර්ඝ වීඩියෝ සාකච්ඡාවක් අතරතුර එක් තැනකදී වත්මන් රජය විවේචනය කරමින් ප්‍රකාශයක් කළ බවට සමාජ මාධ්‍ය තුළ රාවයක් පැතිරුණි.


එම ප්‍රකාශය පදනම් කරගෙන අද (25) දින කැබිනට් මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් ඔහුගේ නම කියමින් අදාළ ප්‍රකාශය ගැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කර තිබූ අතර අද සවස සංගීත් ජනපති අනුර කුමාර හමුවී ඇති බවත් වාර්තා විය.
පසුව ඔහු වෙනම වීඩියෝවක් නිකුත් කරමින් සිය ප්‍රකාශය වරදවා වටහා නොගන්නා ලෙසත් 'ෆේස් බුක් පේජ්' වලින් එයට වැරදි අර්ථ නිරූපණ ලබාදී ඇති බවත් ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ අලුත්ම ප්‍රකාශය පහත පරිදිය.

ඇත්තටම මේ මත්ද්‍රව්‍ය ගැන මම හොඳට දන්න නිසා කියන්නේ, කලින් ආණ්ඩුවල මේ ආණ්ඩුවේ වගේ මත්ද්‍රව්‍ය ඇල්ලුවේ නෑ. ඔය කිලෝ කිහිපයක් ඇල්ලුවා. එක්කෝ ඒවා එක්ක කුරක්කන් පිටි තිබුණා, නැත්නම් වෙන මොනවා හරි මත්ද්‍රව්‍ය නොවන දේවල් වුණා.

එතන තියෙන භයානකකම තමයි, මත්ද්‍රව්‍ය ඇල්ලුවා කියලා පෙන්නුවට ඒවා ආපහු මාකට් එකට යන එක. මේ ආණ්ඩුව මත්ද්‍රව්‍ය කිලෝ ගණන් අල්ලනවා. මම ජනාධිපතිතුමාට කිව්වේ මේකට නීතියක් හදන්න කියලා විතරයි. මොකද එතුමාට අපේ රටේ මිනිස්සු ගැන ඇත්ත වුවමනාවක් තියෙනවානේ. අපේ මිනිස්සු පව්නේ.

මම අවුරුදු ගාණක් තිස්සේ කියනවා, ගත්ත ගමන් ඒ වෙලාවෙම මේවා ස්ට්‍රයික් (Strike/විනාශ) කරන්න කියලා. අද මම මෙතනට ආවෙත් එතුමාගේ කැඳවීමක් එක්ක. මම එතුමාගෙන් ඉල්ලීමක් කළා මේකට නීති හදන්න කියලා. මොකද, ඇල්ලුවට පස්සෙ නඩු භාණ්ඩ ලේසියෙන් විනාශ (Destruct) කරන්න බැහැ.

ඒකට අදාළ නීති සහ ගොඩක් කරුණු තියෙනවා. හැබැයි මම කියන්නේ මේකට අලුත් නීතියක් හදලා, බඩු අල්ලපු වෙලාවෙම එතනට මැජිස්ට්‍රේට් ගෙන්නලා, රස පරීක්ෂකව ගෙන්නලා, සාම්පල් අරගෙන ඉතුරු මත්ද්‍රව්‍ය ටික නඩුවට සාම්පල් විතරක් තියාගෙන එවලෙම විනාශ කරන්න ඕනේ. එතකොට ඒක නීතියක් හැටියට ගේන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකක් හරි ක්‍රමයකින් ඒ ටික විනාශ වෙන්න ඕන. අදත් මම ජනාධිපතිතුමාට ඒක කරන්න කියලා කිව්වාම එතුමා පොරොන්දු වුණා. එහෙම නීතියක් හදනවා කියලා පොරොන්දු වුණා. අපි මේ වගේ වැඩ කලින් අයටත් යෝජනා කළා. මම නාකොටික් බියුරෝවේ ඉන්න කාලෙත් යෝජනා කළා. ඉතින් එහෙම වුණේ නෑ. ඒ කාලේ දේශපාලකයින්ට මේක නවත්තන්න ඇත්ත වුවමනාවක් තිබුණේ නැහැ.

මොකද ඒගොල්ලොත් මේවයේ පාට් කාරයෝ (කොටස් කාරයෝ). ඉතින් ඒ නිසා මේ ගත්තු ක්‍රියාමාර්ගය සහ කරන්න හදන දේ ගැන ජනාධිපතිතුමා අවංකව හදවතින්ම උත්සාහ කරනවා කියලා මට ෆීල් (feel) වෙනවා. මිනිස්සුන්ටත් ඒක ෆීල් වෙනවා. එතකොට ඒ කරන සමස්ත වැඩේ ඇතුළේ, අල්ලන කුඩු විනාශ කරන්න නීතියක් ගේන්න කියන එක තමයි මගේ ඉල්ලීම.

හැබැයි මම මේ කියපු ප්‍රකාශය සමහර ෆේස්බුක් පේජ්වලින් වැරදියට අර්ථකතනය කරලා. මම මේ ආණ්ඩුවට විරුද්ධව, 'ඇන්ටි ගවමන්ට්' (anti-government) අදහසක් ප්‍රකාශ කරනවා වගේ තමයි ඕක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මට ඒ ගැන කියන්න තියෙන්නේ, පව් ඒ පේජ් කරන අයත් ජීවත් වෙන්න එපැයි.

ඒ ගොල්ලොත් පව්නේ. මනුස්සයෙක් වුණාම කොලිටියක් තියෙන්න ඕනේ, කතා කරන දේට වගකීමක් තියෙන්න ඕන. අනිවාර්යෙන්ම මම මේ ආණ්ඩුවේ ගෙනියන වැඩපිළිවෙළට රෙස්පෙක්ට් (respect) කරනවා. හැබැයි අර දේවලුත් වියයුතුයි කියලා මම යෝජනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post