
සැකකාර ඉෂාරා සෙව්වන්දි දිවයිනට ගෙන ආ පසු මුහුණු හඳුනාගැනීමේ පරීක්ෂණයකින් අනන්‍යතාවය තහවුරු වූ බව පොලිසිය පවසනවා.
සංජීව ඝාතනයෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දි විදේශයකට රැගෙන යෑමේ මෙහෙයුම දැනට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් විසින් සිදුකර ඇති බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.
ඝාතනයෙන් අනතුරුව මතුගමට ගොස් තිබු ඉෂාරා සෙව්වන්දි තමන්ව හඳුනාගත නොහැකිවන අයුරින් හිස කෙස් කපා මුහුණේ ස්වරූපයද වෙනස් කර මිද්දෙණිය ප්‍රදේශයට පළාගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.
බැකෝ සමන්ගේ උපදෙස් මත ඒ සඳහා ඇයට උදව් කර ඇත්තේ මාධ්‍යවේදියෙකුලෙස වෙස්වලාගෙන පැමිණි සුපුන් නමැත්තා වූ අතර ඔහු හරක්කටා ඝාතනය කිරීමේ සැලසුමට අදාළව අත්අඩංගුවට ගනු ලැබුවා.
ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකින් මිද්දෙණියේ සිට යාපනයට ගොස් තිබු සුපුන් සහ ඉෂාරා සෙව්වන්දි එහි සිට බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පළා ගොස් තිබුණා.
ඒ සඳහා ඔවුන්ට සහාය දක්වා තිබුණේ මිනිස් ජාවාරම් කරුවෙක් වන ජේ.කේ.බායි නැමැත්තායි.
පසුව ඔවුන් ඉන්දියාවේ සිට දුම්රියෙන් නේපාලය දක්වා ගොස් තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟව සිට තිබුණා.
ඉෂාරා සෙව්වන්දි නේපාලයට රැගෙන යෑම සඳහා මුදල් වැය කර තිබුණේ කෙහෙල්බද්දර පද්මේයි.
නේපාලයේ සිටියදී ඉෂාරා සෙව්වන්දි තවත් සැකකරුවන් 5 දෙනෙකු සමග ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තා.
එහිදි ජේ.කේ.බායි නැමැත්තාව මුලින්ම අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව ඉෂාර සෙව්වන්දි ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතා දුටු නේපාල පොලිසියේ කාන්තා නිලධාරිනියකගේ සහය ඇතිව ඉෂාරා සෙව්වන්දිව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
''මට හිතුණා කවදා හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා,මම මාස 07ක් තිස්සේ නේපාලයේ හිරවෙලා ඉඳලා මට එපා වෙලා හිටියේ.මෙහෙමඉන්නවාට වඩා ලංකාවට යන එක සැපයි කියලා හිතුණා.ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙම හිටියා'' යනුවෙන්ද අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ඉෂාර සෙව්වන්දී පවසා ඇතැයි පොලිසිය පැවසුවා.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගම්පහ බබා නැමැත්තා රුපියල් ලක්ෂ 50ක අල්ලස් මුදලක්රොහාන් ඕලුගල මහතාට ලබා දී පලා යෑමට උත්සාහ කර තිබෙනවා.
සර්.... සර්ට මම රුපියල් ලක්ෂ 50ක මුදලක් දෙන්නම්. මාව අත්අඩංගුවට ගන්නේ නැතිව නිදහස්කරන්න කෙසේ වෙතත් රොහාන් ඕලුගල මහතා ඔහුගේ එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබුණා
එහිදි ඔහු නැවතත් පවසා ඇත්තේ සර්.... සර් ඉල්ලන ඕන ගානක් මම දෙන්නම්. මාව නිදහස් කරන්න කෙසේ වෙතත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ රොහාන් ඕලුගල මහතා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා
මෙම මෙහෙයුම සඳහා සහභාගි වු රොහාන් ඕලුගල මහතා අදාළ මෙහෙයුමට නේපාලය බලා පිටත්ව ගොස් ඇත්තේ තමන්ට වෛරස් උණ රෝගය වැළඳී අසනීපව සිටින බවට ප්‍රචාරය කිරීමෙන් පසුවයි.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගැනීමට සැලසුම් කිරීමේදී එම තොරතුර පොලිස් නිලධාරියෙකු විසින්ම අපරාධකරුවන්ටලබා දී තිබූ බැවින් මෙවර ඔහු මෙම උපක්‍රමය භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, ඔහු විසින් භාවිත කළ ජංගම දුරකථන අංක සියල්ලද මෙහි තබාගොස් තිබු අතර, එම දුරකථන ක්‍රියාත්මක මට්ටමේ තැබීමට ද පියවර ගෙන තිබුණා.
මේ අතර, නේපාල මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව ඉන්දීය කාන්තාවක් ලෙස හඟවමින් එම මහල් නිවාසයේ රැඳී සිට ඇති බවයි.
ඇය එම නිවසින් පිටතට පැමිණ ඇත්තේ කලාතුරකින් බව ද එරට පොලිසිය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.