
මගේ රටේ ජනතාව සතුටින් පිරි පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සිහිනය වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පෙ.ව 12.45ට සමුළුව ඇමතීය.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ,
“මට මගේ රට ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරි පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සිහිනය වෙනවා. ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කර දීම ඔබේ සිහිනය බව මා විශ්වාස කරනවා. ඒ සියලු සිහින වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බව අපි විශ්වාස කරනවා.“
“නිරෝගී ධරණි තලයක සාමය සහ ගෞරවය සහ සමානාත්මතාව වෙනුවෙන් කැප වෙමු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා. ලෝකය සැබෑවටම පිළිසකර කරන්නන් වෙමු කියා මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා.“ යනුවෙනි.