
ඉංගිරිය, ඌරුගල ප්‍රදේශයේ 74 හැවිරිදි වියපත් කාන්තාවක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. මෙම සැකකරු 56 හැවිරිදි තිදරු පියෙකි.
මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් ඇගේ පුතා විසින් පසුගිය 21 වැනිදා ඉංගිරිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් විමර්ශන ආරම්භ විය.
මුලදී එය සාමාන්‍ය මරණයක් ලෙස පෙනුනද, පසුව එය ඝාතනයක් බවට අනාවරණය විය. කෙසේ වෙතත්, ඝාතකයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොතිබූ අතර, එම ප්‍රදේශයේම තවත් 84 හැවිරිදි වියපත් කාන්තාවක් ලිංගික අතවරයකට තැත් කර දේපළ කොල්ලකෑමක් පිළිබඳව කළ පැමිණිල්ලකින් පසුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරුගේ පියා ඔහු කුඩා කල අත්හැර ගොස් ඇති බවත්, මව විසින් ඔහුව ඉතා අසීරුවෙන් හදා වඩා ගෙන ඇති බවත්ය. ඔහුගේ ළමා වියේදී අසල්වැසි වියපත් කාන්තාවන් කිහිප දෙනෙක්ම ඔහුට ආදරයෙන් සැලකූ බවත්, තරුණ වියට පත්වීමත් සමඟ එම කාන්තාවන් කෙරෙහි ඔහුට ලිංගික ආශාවක් ඇති වී ඇති බවත් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරුගේ ප්‍රකාශ අනුව, පළමුව ඝාතනයට ලක් වූ කාන්තාව විරෝධය පෑම නිසා කොට්ටයක් මුඛයට තබා මරා දමා පලා ගොස් ඇත.
අනතුරුව, පසුගිය 30 වැනිදා රාත්‍රියේ විදුලිය විසන්ධි කර 84 හැවිරිදි කාන්තාවගේ නිවසට ඇතුළු වී අතවර කිරීමට උත්සාහ කර ඇති නමුත්, ඇය උඩුමහලට ගොස් සැඟවීමෙන් දිවි බේරාගෙන තිබේ. ඇය පලා ගොස් ඇති බව සිතූ සැකකරු නිවසේ තිබූ භාණ්ඩ කිහිපයක් රැගෙන පලා ගොස් ඇත. රූපවාහිනී යන්ත්‍රයක් විකිණීමට රැගෙන යන බවට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම සියලු තොරතුරු අනාවරණය වී ඇත.