පුපුරන ද්‍රව්‍ය සමග ගායකයෙක් අත්අඩංගුවට..

මීට දින කීපයකට ඉහතදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා” නමැත්තා පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ නැවතත් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.

එම සැකකරු සමඟ ජෙලට් නයිට් කූරු 3 ක්,  ඩෙටනේටර් 5 හා ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 3 ග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකාර රැප් ගායකයා ඉකුත් අගෝස්තු මස 25 වෙනි දින කහතුඩුව මවුන්ට් ක්ලිෆඩ් සංකීර්ණයේදී ව්‍යාජ පිස්තෝලයක්  සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ඇපමත මුදාහැර තිබුණා.

සැකකාර රැප් ගායකයා පදිංචි තවත් නිවෙසක් වන පිටිපන ගල්හේන ප්‍රදේශයේ නිවෙස පිටුපස පුපුරන ද්‍රව්‍ය තොගයක් වළ දමා ඇති බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ මහතාට ලද රහසිගත තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසනවා.

සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මීට මාස කීපයකට ඉහතදී කොටවිල පොලිසියේ ගිනි අවියක් සොරා ගැනීම සම්බන්ධයෙන් මන්නාරම විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින  පොලිස් කොස්තාපල්වරයා විසින් තමන්ට මෙම පුපුරන ද්‍රව්‍ය  ළඟ තබා ගැනීම සඳහා ලබා දුන් බවට සැකකරු විසින් අනාවරණය කළ බව පොලිසිය  පවසනවා.

හිටපු කොස්තාපල්වරයා මෙම පුපුරන ද්‍රව්‍ය  කොටසක් තවත් රැප් ගායකුට ලබා දුන් බවට තොරතුරු ලැබී ඇතැයිද එම ගායකයාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව පොලිසියේ වැඩිදුරටත් සඳහන් කරනවා.

26  හැවිරිදි සැකකරු පුපුරන ද්‍රව්‍ය  තොගය සමඟ කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ  පොලිස් සැරයන් 18808  සේනාධිර, පොලිස් කොස්තාපල්වරුන් වන 8436 ප්‍රියංකර, 106209 කාවින්ද, 15482 තිළිණ යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post