පියාගේ විශේෂඥ වෛද්‍ය පුහුණුවට ඔස්ට්‍රේලියාවට ගිය පුතා ශිෂ්‍යත්වය ලියන්න ලංකාවට ඇවිත් ලකුණු 194 ක්

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 194 ක් ලබාගනිමින් මොරටුව සාන්ත සෙබස්තියන් පාසලේ වැඩිම ලකුණු ගනී මෙත්සර සසිඳු සිංහපතිරණ ශිෂ්‍යයාට හැකි විය.

2023 වසරේ මුල් භාගයේ මෙත්සර ඇතුළු පවුලේ සියලුදෙනා ඔස්ට්‍රේලියාව බලා පිටත් වූයේ ඔහුගේ පියාට සිය විශේෂඥ වෛද්‍ය පුහුණුව සම්පූර්ණ කිරීමට සිදු වූ නිසයි.

එතැන් පටන් වසර දෙකකට අධික කාලයක් මෙත්සරට ඉංග්‍රීසි භාෂාවෙන් ඔස්ට්‍රේලියානු විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට සිදු විය. අධ්‍යාපනයට මෙන් ම ක්‍රීඩාවට හා සංගීතයට ද විශිෂ්ට දක්ෂතා දක්වන මෙත්සර New Town Cricket Club හි නායකයා ලෙස ද කටයුතු කළේ ඔස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්ත තරගාවලියේ වැඩි ම කඩුළු ලාභියා බවට පත් වෙමිනි.

මෙසේ විෂය සමගාමී කටයුතුවල ඉතා සාර්ථක ලෙස සහභාගී වූ අතරතුර ම තම ආදරණීය මවගේ සහ සොහොයුරාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ විෂය නිර්දේශය මෙත්සර ආවරණය කිරීමට පෙළඹුණේ අන්කිසිවක් නිසා නොව තමන්ගේම වුවමනාව මතය.

මෙහි දී ඔහු මාර්ගගත අධ්‍යාපන වැඩසටහන් හරහා විෂය මාලාව ආවරණය කර ගත්තේ ය. එසේ ම සිය සොහොයුරාගේ මග පෙන්වීම යටතේ තෝරාගත් ප්‍රමිතියකින් යුතුව ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර කලට වේලාවට පිළිවෙළකට පරිශීලනය කළේ ය.

මෙත්සර ලංකාවට පැමිණියේ විභාගයට සති දෙකකට පෙරයි. නමුත් එම අභියෝගයට නොබියව මුහුණ දී

විභාගයෙන් ලකුණු 194 ක් ලබාගනු ලැබුවේ ඔහුගේ පාසලේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා ලෙසිනි. මෙත්සරගේ මෙම විශිෂ්ට ප්‍රතිඵලය ගැන ඔහුගේ මව වන ආචාර්ය ලක්මිණි එදිරිසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.

“මෙම ප්‍රතිඵලය ඇත්ත වශයෙන් ම සිය දරු දැරියන් ශිෂ්‍යත්ව විභාගය පසුපස ම හඹා යවන, ඔවුන්ගේ සුන්දර ළමා කාලය අපතේ යවා, දරුවන් අනවශ්‍ය තරගයකට යොමු කරවන දෙමාපියන් හට ඉතා වැදගත් පණිවිඩයක්. මෙත්සර ඉගෙනීමට මෙන් ම ක්‍රීඩාවලටත් එකසේ දක්ෂ දරුවෙක්. පුතාට ලොකු උවමනාවක් තිබුණා විභාගයට හොඳින් මුහුණ දෙන්න. මෙත්සරගේ අයියාත් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195ක් ගෙන ඉහළින් ම සමත් වීමත් මෙත්සරට විභාගය ගැන ලොකු උනන්දුවක් ඇති කළා.

මෙත්සරට කිසිම අමතර පන්තියකට යාමට අවස්ථාවක් ලැබුණේ නෑ. අපේ බලාපොරොත්තුව වුණේ ඔහුව කිසිම අනවශ්‍ය තරගයකට හෝ පීඩනයකට ලක් නොකර, තමන්ගේම උත්සාහය මත විභාගයට මුහුණ දීමට හැකියාව ලබා දීමයි. ගැටලු විසඳීමේදී කෙටි යාන්ත්‍රික ක්‍රම භාවිතයට යොමු නොවී, නිසි අවබෝධයෙන් යුතු පියවර ගැනීම අපගේ ප්‍රධාන අරමුණ වුණා. අපි පුංචි මෙත්සර පුතාට සාර්ථක අනාගතයකට සුබ පැතුම් පළ කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post