වෙල්යායෙන් හමුවුණු රෝස කැකුළට මව්වරුන්ගෙන් ඉල්ලීම් ගලයි

අම්මා තාමත් අතුරුදන්!

සීතලේ වෙව්ලමින් වෙලේ හිටපු බබා දැක්කම මට දරාගන්න බැරි වුණා

සිය කමිසයෙන් ඔතා දරුවා දෝතට ගත් චන්දන කුමාර කියයි

“බිලිඳිය අතට ගන්න අම්මා කෙනකුට ඉදිරිපත් වෙන්න කියා මාවතගම ඕඅයිසී මහත්තයා කිව්වා. ඒත් කිසිම කෙනකු ඉදිරිපත් නොවුණු නිසා සීතලේ ගැහි ගැහී හිටපු දරුවා මම මගේ ටීෂර්ට් එක ගලවා ඒකෙන් දෝතට ගත්තා…” යැයි මාවතගම පී. ඒ. චන්දන කුමාර මහතා පැවසීය.

මාවතගම, පරගහදෙනිය, සිංහපුර වෙල්යායේ ගසක් යට දමාගොස් සිටි අලුත උපන් බිලිඳිය දෝතට ගත් චන්දන මහතා සිය අත්දැකීම එසේ මාධ්‍ය හමවේ විස්තර කළේය.

වෙල්යාය මැදින් ගමන් කළ ගැමියකු මෙම අලුත උපන් බිලිඳිය ගසක් යට සිටින ආකාරය දැක ඇති අතර පසුව ඔහු මේ ගැන මාවතගම පොලිසිය දැනුවත් කර තිබේ. පොලිසිය එහි පැමිණ එම ස්ථානයේ සිටි කාන්තාවන්ගෙන් බිලිඳිය දෑතට ගන්නා ලෙස ඉල්ලා ඇත. “මේ දරුවා වඩාගන්න කෝ. ඔයාලත් දරුවො ඉන්න අම්මලා නේද…” යැයි මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා එම කතුන්ගෙන් අසා ඇත. එහෙත් කිසිම මවක ඉදිරිපත් නොවූ නිසා එම ස්ථානයට පැමිණ සිටි චන්දන කුමාර මහතා සිය ටීෂර්ටය ගලවා දරුවාට පොරවා දෑතට ගැනීමට ඉදිරිපත් විය. මෙය පසුව සමාජ මාධ්‍යයේ කාගේත් කතාබහට ලක්වූ සංවේදී සිද්ධියක් වී තිබේ.

පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව බිලිඳිය රැගෙන ගොස් මාවතගම රෝහලට ඇතුළත් කර ඇත. දරුවා පරීක්ෂා කළ වෛiවරයකු පවසා ඇත්තේ බිලිඳිය ඉපදී දිනක් හෝ දින 2ක් පමණ ගතවන්නට ඇතැයි සැකකරන බවයි.

මූලික පරීක්ෂණවලින් පසුව බිලිඳිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකය වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. ඊයේ (20දා) වනවිට එම බිලිඳිය යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

සිය ටීෂර්ටය පොරවා දරුවා දෝතට ගත් චන්දන කුමාර මහතා මෙසේ ද කීය.

“ඕ අයි සී මහත්තයා කිව්වා දරුවට පණ තියෙනවා මෙතන ඉන්න අම්මලා දරුවව අතට ගන්න ඉක්මනට රෝහලට අරන් යන්න කියලා. එතුමා කීප සැරයක් කිව්වා. නමුත් කිසිම අම්මා කෙනකු ඉදිරිපත් වුණේ නැහැ. මට මේක දරාගන්න බැරිවුණා. දරුවා එහෙන් සීතලේ වෙව්ලනවා. මම ඇඳගෙන හිටපු ටීෂර්ට් එක ගලවලා ඒකෙන් පොරවා දරුවාව දෝතට ගත්තා. පස්සෙ ඕ අයි සී මහත්තයත් එක්ක දරුවව රෝහලට අරන් ගියා. මම වැඩට යනකොට කට්ටියක් වෙලේ වටවෙලා ඉන්න නිසා බලන්න ගියා. එතකොටයි මේ සිද්ධිය දැක්කේ…”

මෙම බිලිඳිය හදා වඩා ගැනීමට කැමැත්ත පළ කරන පුද්ගලයන්ගෙන් මේ වනවිට ඇමතුම් දහසකට වඩා ලැබී ඇතැයි පොලිසිය පවසයි.

බොහෝ ඇමතුම් ලැබී ඇත්තේ නවසීලන්තය, ඉතාලිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ටේ්‍රලියාව වැනි රටවල්වල ජීවත්වන ශ්‍රී ලාංකික, දරුවන් නොමැති මව්වරුන්ගෙන් බව ද පොලිසිය කියයි.

බිලිඳිය හදා වඩා ගැනීම පිළිබඳව විමසූ සෑම කෙනකුටම දරුකමට හදාගැනීමේ ක්‍රියාවලියට අදාළ නීතිමය ක්‍රියාපටිපාටිය පිළිබඳ දැනුම් දුන් බව පවසන පොලිසිය, බිලිඳිය පරිවාස භාරයට පත්කරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව කියයි.

මෙම බිලිඳිය අතහැර දමා ගියේ කව්රුන් ද යන්න සම්බන්ධයෙන් ඊයේ වනතුරුත් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව ද පොලිසිය පවසයි.

මේ පිළිබඳව මාවතගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. එස්. ඒ. පද්මසිරි මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක නිර්මලා මහත්මියගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post