
ශ්‍රී ලංකාව ඇමෙරිකාවට අපනයනය කරන සියලුම භාණ්ඩවලට එළැඹෙන අගෝස්තු 1 වැනිදා සිට සියයට 30 ක තීරු බද්දක් "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පනවනු ඇති බවත් තිබෙන වෙළඳ හිඟය මග හරවා ගැනීම සඳහා පැනවිය යුතු සැබෑ තීරු බද්දට වඩා අඩු තීරු බද්දක් මෙරටට පනවා තිබෙන බවත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (09) ප්‍රකාශ කළේය.
ඇමෙරිකාවේ භාණ්ඩ සඳහා පනවා තිබෙන බදු තවදුරටත් ඉහළ දැමීමට ශ්‍රී ලංකාව තීරණය කළහොත් ඇමෙරිකාව සියයට 30 ක තීරු බද්ද තවත් ඉහළ නංවනු ඇතැයි ජනපති ට්‍රම්ප් පැවැසුවේය.ශ්‍රී ලංකාව හෝ මෙරට සමාගම් ඇමෙරිකාවට පැමිණ නිෂ්පාදන කටයුතු සිදු කිරීමට තීරණය කළහොත් කිසිඳු තීරු බද්දක් අය නොකරන බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් සති කීපයක් තුළ කඩිනමින් ලබා දීමට අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවත් ඇමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කළේය.
ඇමෙරිකාවට විශාල වෙළඳ හිඟයකට මුහුණ දීමට හේතු වූ මෙරට බදු, ප්‍රතිපත්ති සහ වෙළෙඳ බාධක නිවැරදි කිරීමට මෙම තීරු බද්ද අත්‍යාවශ්‍ය බවද ජනපති ට්‍රම්ප් පැවැසුවේය. ඇමෙරිකාව ශ්‍රී ලංකාව සමග ඉදිරියට යාමට තීරණය කළ බවත් නමුත් සාධාරණව සහ සමබරව මින් ඉදිරියට වෙළෙඳ කටයුතු සිදුවනු ඇති බවත් ජනපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ඇමෙරිකානු භාණ්ඩ සඳහා පනවනු ලබන සියයට 88 ක තීරු බදු වලට පිළිතුරු ලෙස "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්ද පනවන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් 2 වැනිදා නිවේදනය කළේය.
එම බද්ද පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත් සාකච්ඡා මේසයට පැමිණීම සඳහා දින 90 ක කාලයක් ලබාදෙමින් ඊයේ (09) එය අත්හිටුවනු ලැබුවේය. ඒ සමග සියයට 44 ක තීරු බද්ද අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා මේසයට පැමිණි අතර වොෂින්ටනයේදී ඇමෙරිකා වෙළඳ නියෝජිත කාර්යාලය සමග මුහුණට මුහුණ සාකච්ඡාවට දෙකක් සහ මාර්ග ගතව සාකච්ඡාවට කීපයක් පැවැත්වූවේය.
ඒ අනුව ඇමෙරිකාව සිය වෙළෙඳ හවුල්කරුවන් 21 කට වැඩි ප්‍රමාණයකට "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පනවනු ලබන නව තීරුබදු ප්‍රතිශත පිළිබඳව ඊයේ (09) වනවිට දැනුම් දී තිබුණේය.
පසුගිය 7 වැනිදා පළමු වරට රටවල් 14කට ලිපි මාර්ගයෙන් නව තීරුබදු ප්‍රතිශත පිළිබඳව ඇමෙරිකාව දැනුම් දී තිබූ අතර එම ලිපි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ටෘත් සෝෂල් ගිණුමේ ප්‍රසිද්ධ කරනු ලැබුවේය.
එහිදී ලාඕසය සහ මියන්මාරයට සියයට 40 ක තීරු බද්දක් පනවා තිබිණි. ලාඕසයට සියයට 48 ක සහ මියන්මාරයට සියයට 44 ක තීරුබදු ප්‍රතිශතයක් පැනවීමට පසුගිය අප්‍රේල් 2 වැනිදා යෝජනා විය. මීට පෙර "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ ජපානයට සහ මැලේසියාවට සියයට 24 ක තීරු බද්දක් පැනවීමට යෝජනා වී තිබූ අතර එය සියයට 1 කින් ඉහළ දමමින් සියයට 25 ක නව තීරු බද්දක් පැනවීමට ජනපති ට්‍රම්ප් තීරණය කර ඇත.
දකුණු අප්‍රිකාවට සියයට 30 ක්ද, තායිලන්තයට සියයට 36ක්ද, සර්බියාවට සියයට 36ක්ද, ඉන්දුනීසියාවට සියයට 32ක්ද, දකුණු කොරියාවට සියයට 25 ක්ද, තීරු බදු ප්‍රතිශත ලෙස පැනවීමට මිට පෙර යෝජනා වී තිබූ අතර නව තීරුබදු ප්‍රතිශත යටතේ එහි කිසිඳු වෙනස්කමක් සිදුව නොමැත. කාම්බෝජයට මීට පෙර සියයට 49 ක තීරු බද්දක් යෝජනා වී තිබූ අතර එය සියයට 36 දක්වා අඩුවී ඇත.
එසේම බංග්ලාදේශයට මීට පෙර පැනවීමට යෝජනාවී තිබූ සියයට 37 ක තීරු බද්ද සහ සර්බියාවට පැනවීමට යෝජනාවී තිබූ සියයට 36 ක තීරු බද්ද සියයට 35 දක්වා පහළ දමා තිබේ. ටියුනීසියාවට සහ කසක්ස්තානයට පැනවීමට යෝජනාවී තිබූ සියයට 28 ක තීරු බද්ද සියයට 25 දක්වා අඩුකර ඇත. බොස්නියාව සහ හර්සගොවිනාවට පැනවීමට යෝජනා වූ සියයට 36ක තීරු බද්ද සියයට 30 දක්වා පහළ දමා තිබේ.
එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්වි පාර්ශ්වික වෙළෙඳාමේ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 කි. පසුගිය වසරේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 368.2 භාණ්ඩ අපනයනය කර තිබූ අතර 2023 වසරට සාපේක්ෂව සියයට 4.9 ක ඉහළ යාමක්ද විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර තිබෙන අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 6.1 ඉහළ යාමකි.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වෙළෙඳ භාණ්ඩ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 කි. එය 2023 වසරට සාපේක්ෂව සියයට 6.3 ක ඉහළ යාමකි.
මෙරට ඇඟලුම් නිෂ්පාදන සඳහා ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳපොළ වන්නේ ඇමෙරිකාවය. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක් වූ අතර එම ආදායම ඉපැයූ ඇඟලුම් අපනයනයන්ගෙන් සියයට 40.04 ක් ශ්‍රී ලංකාව අපනයනය කර තිබුණේ ඇමෙරිකාවටය. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් විය.
පනවනු ලබන ඉහළ බදු ප්‍රතිශත එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවත් නැවත කාලය දීර්ඝ කිරීමක් ලබා නොදෙනු ඇති බවත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. කෙසේ නමුත් ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන්නේ නැවත කාලය දීර්ඝ කිරීමක් ලබානොදෙන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළත් ඔහු 28 වතාවක් වචනය වෙනස් කර ඇති බවයි.
(විමුක්ති එස් රුද්‍රිගු සහ හසිනි නවෝද්‍යා)