වාහන මිල වේගයෙන් ඉහල යයිලු..

රජය විසින් වාහන ආනයනය සඳහා වෙන් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියනයෙන් ඉතිරි කෝටි 20ක (මිලියන 200) මුදල බැංකු හරහා ලබා දීමේදී යම් කොන්දේසි හෝ සීමාවන් පැනවීමට තීරණය කළහොත් දේශීය වෙළෙඳපොළේ වාහන මිල වේගයෙන් ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන් අනතුරු අඟවයි.

වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ මේ වසර සඳහා වාහන ආනයනයට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් වෙන් කර ඇති අතර, මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක ණයවර ලිපි (LC) විවෘත කර ඇති බවයි.

වාහන ආනයනය යළි ආරම්භ කරන විට, මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ වාහන ආනයනයක් සිදුවනු ඇතැයි රජය අපේක්ෂා කළද, අධික ඉල්ලුම හේතුවෙන් ඉතිරි මිලියන 200 ලබා ගැනීම සම්බන්ධයෙන් යම් අවිනිශ්චිතතාවක් පවතින බව ඔවුහු ප්‍රකාශ කරති.

මෙම වසර සඳහා වෙන් කර ඇති ඉතිරි මිලියන 200 ලබා දෙන ආකාරය පිළිබඳව නිශ්චිතව දැන ගැනීම සඳහා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව වාහන ආනයනකරුවෝ සඳහන් කරති.

එම සාකච්ඡාවලදී නව කොන්දේසි හෝ සීමා කිරීම් හඳුන්වා දුනහොත් දේශීය වෙළෙඳපොළේ වාහන මිල අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇතැයි ආනයනකරුවෝ වැඩිදුරටත් අවධාරණය කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post