ඉරානයේ න්‍යෂ්ටික බංකර් විනාශ කළ හැකි ඇමෙරිකාව සතු බලගතු බෝම්බය කුමක් ද?



ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දිය හැකි අවි අතරින් එකක් තවමත් භාවිතයට ගෙන නොමැති අතර, එය දැනට ඊශ්‍රායලය සතුව නැත: ලොව විශාලතම න්‍යෂ්ටික නොවන "බංකර් බස්ටර්" බෝම්බය ලෙස සැලකෙන GBU-57A/B Massive Ordnance Penetrator නමැති බෝම්බය ඇමෙරිකා එක්සත් ජනපදය සතු ය.

රාත්තල් 30,000ක් (කිලෝග්‍රෑම් 13,600) බරින් යුතු නිරවද්‍ය මාර්ගෝපදේශක අනුව ක්‍රියාත්මක වන මෙම බෝම්බයට කන්දක් තුළ ගැඹුරින් භූගතව ඉදිකර ඇති ඉරානයේ න්‍යෂ්ටික යුරේනියම් බලගැන්වීමේ ෆොර්දෝ සංකීර්ණය විනිවිද යාමට හැකියාව ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයට මේ දක්වා පොළොවේ ගැඹුරින් පිහිටා ඇති ඉලක්ක විනාශ කිරීමට නිර්මාණය කර ඇති GBU-57A/B 'බංකර් බස්ටර්' බෝම්බ භාවිතයට ප්‍රවේශය ලබා දී නොමැත.

මේ ආයුධය කුමක් ද? එය භාවිත කිරීමේදී ඇති අභියෝග මොනවා ද? සහ එය භාවිත කළ හැකි ද?

GBU-57A/B යනු භූගතව පිහිටා ඇති බංකර් සහ උමං මාර්ගවලට පහර දී විනාශ කිරීම සඳහා නිර්මාණය කරන ලද විශාල බෝම්බයක් බව ඇමෙරිකා එක්සත් ජනපද රජය පවසයි.

මීටර් හයක් දිගැති මෙය, පිපිරීමට පෙර මතුපිට සිට අඩි 200ක් (මීටර් 61) පමණ ගැඹුරට කිඳා බැසීමට සමත් බව පැවසේ. එකිනෙක පිපිරීමෙන් පොළොව හාරමින් ගැඹුරට යන ආකාරයෙන් බෝම්බ රැසක් අනුපිළිවෙළින් පුපුරුවා හැරීමට එයට හැකියාව පවතී.

බෝයිං සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම දැවැන්ත අවිය (MOP), කිසි විටෙකත් සටන් සඳහා භාවිත කර නොමැති නමුත් නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද හමුදා පරීක්ෂණ ප්‍රදේශයක් වන වයිට් සෑන්ඩ්ස් මිසයිල භූමි කලාපයේදී අත්හදා බලා තිබේ.

එය 2017 වසරේදී ඇෆ්ඝනිස්ථානයේ සටන් වලදී භාවිත කරන ලද "සියලු බෝම්බවල මව" ලෙස හැඳින්වෙන රාත්තල් 21,600 (කිලෝග්‍රෑම් 9,800) බරැති දැවැන්ත "Massive Ordnance Air Blast" (MOAB) නමැති බෝම්බවලට වඩා ප්‍රබල ය.

"ඇමෙරිකානු ගුවන් හමුදාව MOAB විශාලත්වයට බොහෝදුරට සමාන ආයුධ නිර්මාණය කරන්න උත්සහ කළත්, ඒවායෙහි පුපුරනසුලු ආරෝපිත ද්‍රව්‍ය අතිශයින් දෘඪ ලෝහ ආවරණයක් ඇතුළෙ දාලා තිබුණෙ. ඒ නිසා ඔවුන් GBU-57A/B කියන දැවැන්ත බෝම්බය හැදුවා," එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සාම අධ්‍යයන පිළිබඳ සම්මානිත මහාචාර්ය පෝල් රොජර්ස් පවසයි.

"ඇමෙරිකාවේ ගුවන් හමුදාව MOAB ප්‍රමාණයට බොහෝ දුරට සමාන ප්‍රමාණයේ ආයුධ නිර්මාණය කිරීමට සැලකිය යුතු උත්සහයක් දැරූ නමුත් පුපුරන සුලු ආරෝපණය ශක්තිමත් ලෝහ කවචයක් තුළ අඩංගුයි. එහි ප්‍රතිඵලය වූයේ GBU-57A/B දැවැන්ත යුධෝපකරණ විනිවිදකයයි," එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සාම අධ්‍යයන පිළිබඳ සම්මානිත මහාචාර්ය පෝල් රොජර්ස් පවසයි.

දැනට, බංකර් බස්ටර් හෙවත් MOP ලෙස හැඳින්වෙන මෙම බෝම්බ හෙළිය හැක්කේ, ඇමෙරිකා එක්සත් ජනපදය සතු B-2 Spirit යානයට පමණක් වන අතර එය රහසිගත බෝම්බකරු ලෙස ද හැඳින්වේ. නෝත්‍රොප් ග්‍රුමන් විසින් නිෂ්පාදනය කරන ලද මෙය ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ වඩාත් ම දියුණු ගුවන් යානාවලින් එකකි.

ගුවන් යානයේ නිෂ්පාදකයාට අනුව, B-2 යානයට රාත්තල් 40,000ක (කිලෝග්‍රෑම් 18,000) බරක් රැගෙන යා හැකි ය. කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව පවසා ඇත්තේ, GBU-57A/B බංකර් බස්ටර් දෙකක් රැගෙන යමින් B-2 යානය සාර්ථකව අත්හදා බැලූ බව ය. එහි මුළු බර රාත්තල් 60,000ක් (කිලෝග්‍රෑම් 27,200) පමණ වේ.

මෙම දිගු දුර බර බෝම්බ හෙළන ගුවන් යානයට ඉන්ධන පිරවීමකින් තොරව සැතපුම් 7,000ක (කිලෝමීටර් 11,000) පමණ පරාසයක් පියාසර කළ හැකි අතර, එක් ඉන්ධන පිරවීමකින් පසුව සැතපුම් 11,500ක් (කිලෝමීටර් 18,500) දක්වා පරාසයක් පියාසර කරයි. එමගින් පැය කිහිපයක් ඇතුළත ලෝකයේ ඕනෑ ම ස්ථානයකට ළඟා වීමට හැකි බව නෝත්‍රොප් ග්‍රුමන් පවසයි.

ඉරානය වැනි ශක්තිමත් ගුවන් ආරක්ෂක පද්ධති ඇති සතුරු රටකට එරෙහිව 'බංකර් බස්ටර්' හෙවත් MOP බෝම්බ භාවිතා කළේ නම්, B-2 බෝම්බ හෙළන යානා, වෙනත් ගුවන් යානාවල සහය ලබා ගැනීමට ඉඩ ඇති බව මහාචාර්ය රොජර්ස් පවසයි. F-22 ජෙට් යානාවලට පළමුව ආරක්ෂක පද්ධති විනාශ කළ හැකි අතර, හානිය තක්සේරු කිරීමට සහ තවදුරටත් ප්‍රහාර අවශ්‍ය දැයි තීරණය කිරීමට ඩ්‍රෝන යානා භාවිත කළ හැකි ය.

ඔහු ඇස්තමේන්තු කරන්නේ, මෙම බංකර් බස්ටර් බෝම්බ සීමිත තොගයක් ඇමෙරිකා එක්සත් ජනපදය සතුව ඇති බවට ය.

"මෙම බෝම්බවලින් 10ක් 20ක් පමණ මෙහෙයුම් සඳහා භාවිතයට සූදානම්ව ඔවුන් සතුව තිබෙනවා" ඔහු පවසයි.

ඉරානයට එරෙහිව බංකර් බස්ටර් බෝම්බ භාවිත කරයි ද?
ෆොර්දෝ යනු ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරය වන නටාන්ස් බලාගාරයට පසුව ඇති දෙවන න්‍යෂ්ටික බලාගාරය යි.

ටෙහෙරානයට නිරිත දෙසින් සැතපුම් 60ක් (කිලෝමීටර් 95ක්) පමණ දුරින් පිහිටි කොම් නගරයේ කන්දක් අසල මෙම බලාගාරය ඉදිකර ඇත. එහි ඉදිකිරීම් 2006 වසරේදී පමණ ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන අතර, මෙම බලාගාරය 2009 වසරේදී මෙහෙයුම් සඳහා ක්‍රියාත්මක විය. එම වසරේදී ම ටෙහෙරානය ප්‍රසිද්ධියේ ම එය පිළිගෙන තිබිණි.

මීටර් 80ක් (අඩි 260) පමණ භූගතව පිහිටා ඇති ෆොර්දෝ න්‍යෂ්ටික බලාගාරය ඉරාන සහ රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති මගින් ද ආරක්ෂා කර ඇත.

2023 මාර්තු මාසයේදී, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික ඒජන්සිය ෆොර්දෝහි යුරේනියම් 83.7%ක් දක්වා ඉහළ අගයක ඇති බව සොයා ගත්තේ ය. එය ආසන්න වශයෙන් අවි නිෂ්පාදනය සඳහා සුදුසු යුරේනියම් මට්ටමකි.

ඉරානයට පහර දීමේ අරමුණ එහි මිසයිල සහ න්‍යෂ්ටික වැඩසටහන් විනාශ කිරීම බව ඊශ්‍රායල අගමැති නෙතන්යාහු පැවසූ අතර, ඉරානය "ඊශ්‍රායලයේ පැවැත්මට තර්ජනයක්" බව ඔහු පවසයි.

එම අදහසෙහි කොටසක් ෆොර්දෝ බව එම නිලධාරීන් පවසා තිබේ.

"මේ සම්පූර්ණ මෙහෙයුම... ඇත්තට ම ෆොර්දෝ තුරන් කිරීමත් සමග අවසන් කළ යුතු යි," ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති යෂියල් ලෙයිටර් සිකුරාදා ෆොක්ස් නිව්ස් වෙත පැවසීය.

නමුත් ඊශ්‍රායලයට තනිව ම MOP බෝම්බය භාවිත කළ නොහැකි අතර, ඍජු මැදිහත්වීමකින් තොරව ඇමෙරිකා එක්සත් ජනපදය ඊට ඉඩ නොදෙන බව මහාචාර්ය රොජර්ස් පවසයි.

"ඔවුන් නිසැකව ම ඊශ්‍රායලයට මේක තනිය ම පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඊශ්‍රායලයට මේ වගේ බලවත් බෝම්බ නැහැ."

ඇමෙරිකා එක්සත් ජනපදය මෙම බෝම්බය යොදවන්නේ ද යන්න බොහෝදුරට රඳා පවතින්නේ, විශේෂයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ එහි මැදිහත්වීම තීව්‍ර කිරීමට ඇති කැමැත්ත මත ය.

"එය ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ ට්‍රම්ප් ඊශ්‍රායලයට සහය දීමට සම්පූර්ණයෙන් ම කැමැත්තෙන් සිටින්නේ ද යන්න මත යි," මහාචාර්ය රොජර්ස් පවසයි.

කැනඩාවේ පැවති G7 රැස්වීමේදී, ඇමෙරිකා එක්සත් ජනපදය හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට හේතු විය හැක්කේ කුමක් දැයි විමසූ විට, ට්‍රම්ප් පැවසුවේ,

"මට ඒ ගැන කතා කරන්න ඕන නැහැ" යනුවෙනි.

මෑතකදී ABC ප්‍රවෘත්ති සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී, ඊශ්‍රායල් තානාපති ලෙයිටර්ගෙන් ෆොර්දෝ වෙත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සම්බන්ධ වීමට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇති හැකියාව පිළිබඳව විමසන ලදී. ඔහු පැවසුවේ, ඊශ්‍රායලය එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන උදව් පමණක් බව ය.

"අවශ්‍ය නම් ෆොර්දෝ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපට සැලසුම් කිහිපයක් ම තියෙනවා," ඔහු පැවසීය.

"හැම දේ ම කියන්නේ ඈත ඉඳන් අහසට ගිහින් බෝම්බ හෙළන එක නෙවෙයි."

ඉරානය සැමවිට ම කියා සිටියේ, තම න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් ම සාමකාමී බව සහ තමන් කිසි විටෙකත් න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කිරීමට උත්සහ නර නොමැති බව ය.

පසුගිය සතියේ, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරියෙහි රටවල් 35කින් යුත් පාලක මණ්ඩලය ඉරානය වසර 20කට පසු පළමු වතාවට සිය න්‍යෂ්ටික ගිවිසුම් නීති කඩ කළ බව නිල වශයෙන් ප්‍රකාශ කළේ ය.

'තත්ත්වය වෙනස් කළ හැකි අවිය'
ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථානවලට මෑතකදී ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කළ ද, මහාචාර්ය රොජර්ස් පවසන්නේ, "ගැඹුරු භූගත ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි කිරීමට ඊශ්‍රායලය කිසිදු ආකාරයකින් සමත් වී ඇති බවට තමන් විශ්වාස නොකරන" බව ය.

"ඔවුන්ට තනිව ම කරන්න බැරි දේවල් කරන්න MOP වැනි බෝම්බයක් අවශ්‍ය වෙනවා."

ෆොර්දෝ ක්‍රියාත්මක වන තාක්, ඉරානයට තවමත් න්‍යෂ්ටික අවි සෑදීමට හැකියාවක් පැවතීමේ කෙටිකාලීන අවදානමක් ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් අවි පාලන සංගමයේ අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ කෙල්සි ඩැවන්පෝට් පවසයි. ඉරානයට එහි යුරේනියම් බලගැන්වීම ආයුධ සැකසීමේ මට්ටම දක්වා වැඩි කිරීමට හෝ රහසිගතව යුරේනියම් වෙනත් තැනකට ගෙන යාමට හැකියාව තිබේ.

නමුත් MOP භාවිත කළ ද, ඉරාන මර්මස්ථානවල නොදන්නා ගැඹුර සහ ආරක්ෂාව හේතුවෙන් සාර්ථකත්වය සහතික කළ නොහැකි බව මහාචාර්ය රොජර්ස් පවසයි.

"වර්තමානයේ පවතින වෙනත් ඕනෑ ම ආයුධයකට වඩා, මෙම විශේෂිත අවිය ඉරාන න්‍යෂ්ටික පහසුකම්වලට භූගතව හානි කිරීමට ඇති හොඳ ම අවස්ථාවක් විදිහටයි මම දකින්නේ. නමුත් ඒකට ඒ දේ කරන්න පුළුවන් ද? - කවුද ඒක ගැන දන්නේ?"

- BBC

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post