හෙලිකොප්ටර් යානාවල ගියේ කවුද ?


හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කිසිවිටෙකත් රටින් පළා නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අද (10) විදෙස් පුවත් සේවයක් සමගින් අදහස් දක්වමින් ඒ බව සඳහන් කර තිබේ.

උද්ඝෝෂණ හමුවේ රාජපක්ෂ පවුල රටින් පිටව නොයන බව පවසා ඇති මන්ත්‍රිවරයා, මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂිත ස්ථානයක රැඳීසිටින බවද වැඩිදුරටත් හෙළිකර තිබුණි.

මෙවන් පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටුනායක ගුවන්තොටුපොළින් පළායනු ඇති බවට සැක කරමින් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළෙහි පිවිසුම් මාර්ගය අසල රැඳීසිටිමින් එතැනින් ගමන් ගන්නා වාහන පරීක්ෂා කර තිබේ.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ කිහිප දෙනෙකු හෙලිකොප්ටර් මගින් කොළඹින් පිටව ගිය බවට දැක්වෙන රූප රාමු පෙළක් අද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.

ඒ අතර දැක්වුණේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙන් කාන්තාවන් දෙදෙනකු හෙලිකොප්ටරයකට ගොඩවන අයුරුය.

එමෙන්ම තවත් හෙලිකොප්ටරයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලෙයන් ගුවන්ගත වන අයුරු දැක්වෙන රූප රාමු පෙළක්ද සමාජ මාධ්‍යයේ මේ වන විට සංසරණය වෙයි.
$ads={2}
මේ පිළිබඳව අප ගුවන් හමුදාවෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය යටතේ මහින්ද රාජපක්ෂ මහතාට හෙලිකොප්ටරයක් ලබාදුන් බවය.

ඒ අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අද පෙරවරුවේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණි බවට පැතිර ගිය ප්‍රචාරයත් සමග ප්‍රදේශවාසීන් එම කඳවුර ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වුණි.

මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09) අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ අතර අද (10) උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබුණි.

මේ අතර අරලියගහ මන්දිරය අසල ඊයේ රාත්‍රියේත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ගාලු මුවදොර අරගල භූමියට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ නොසන්සුන් තත්ත්වය හමුවේ මැති ඇමතිවරුන් රැසකගේ නිවාස හා දේපළ ගිනිබත් කර තිබුණි.

කලහකාරි සිදුවීම් අතරතුර මිය ගිය පුද්ගලයන් ගණන 9කි.

ගැටුම්කාරී තත්ත්වය අතරතුර නිට්ටඹුවේදී ජීවිතක්ෂයට පත්වූ අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ හා ඔහුගේ ආරක්ෂකයාගේ මරණ ඝාතන බවද මේ වනවිට තහවුරු වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post