අගමැතිගේ ඉල්ලා අස්වීම ගැන අලුත් කතාවක් එළියට


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට විවිධ ප්‍රචාර පැතිර ගියද මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් තහවුරු කළ හැකි තොරතුරු වාර්තා වී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රට තුළ මතුව ඇති දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත පාර්ලිමේන්තුවම ඉල්ලා අස්විය යුතු බවට සාමාජයෙන් දැඩි බලපැමක් එල්ලවී තිබේ.

මේ වනවිටත් මාසයකට අධික කාලයක් ගතවන ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අරගලය හේතුවෙන් මෙය තවදුරටත් වර්ධනයවී ඇති අතර ඊට සහාය පළ කරමින් දිවයිනේ විවි‍ධ ප්‍රදේශවල ජනතාව මාර්ග හරස් කරමින් විරෝධතාවයේ නිරතවෙමින් ඇත.
$ads={2}
මෙම තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත්විමේ සුදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග පසුගියදා සඳහන් කළ බව වාර්තා වුණි.

අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් වත්මන් කැබිනට් මණ්ඩලය ද අහෝසි වන අතර ඉන් අනතුරුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සකස් කිරිමේ යෝජනා ද මේ වනවිට ඉදිරිපත්ව තිබේ.

පසුගිය සිකුරාදා පැවැති විශේෂ කැබිනට් මණ්ඩලයේදී අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර ඇති බවට තොරතුරු වාර්තා වුණි.

ඒ අනුව අමාත්‍යවරුන් දේශපාලන වේදිකාවලදී මෙන්ම සම්මුඛ සාකච්ඡාවලදී ද මෙම කාරණය තහවුරු කළ ද ඊට අදාළ ලිඛිත ලේඛනයක් මේ දක්වා මාධ්‍ය වෙත ඉදිරිපත් වී නොමැත.

මේ වනවිට පවතින තත්ත්වය අනුව දේශපාලන ආරංචි මාර්ග ද පෙන්වා දෙන්නේ මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් තහවුරු කළ හැකි තොරතුරු වාර්තා වී නොමැති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post