අගමැති ඉල්ලා අස්වෙන දිනය ගැන ඉඟියක්


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඊයේ (06) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම එළැඹෙන සඳුදා දිනයේ සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

විශේෂ කැබිනට් රැස්වීමක් ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණි.

රට තුළ මතුව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදය සහ ජනතාවගෙන් දිගින් දිගටම එල්ලවන දැඩි විරෝධය හමුවේ ආර්ථිකය පවත්වාගෙන යාමේ බරපතළ ගැටලුවක් මතුව ඇති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

එමෙන්ම පවතින අර්බුදය හමුවේ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ඇති බවත්, කර්මාන්තශාලා වැසෙමින් පවතින බවත් පෙන්වාදෙන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ඒ හරහා බරපතළ ආර්ථික අර්බුදයක් මතුව ඇති බවය.
$ads={2}
උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ජනාධිපතිවරයා විසින් සඳහන් කර ඇති බව දේශාපලන ආරංචි මාර්ග පවසයි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ආණ්ඩුව ඉල්ලා අස්වීම ගැටලුවට විසඳුමක් නොවන බවය.

අග්‍රාමාත්‍යවරයාගේ මතය අනුමත කරමින් දිනේෂ් ගුණවර්ධන සහ විමලවීර දිසානයක යන අමාත්‍යවරුන් අදහස් පළ කර තිබේ.

එහිදී ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ සහ මහාචාර්ය චන්න ජයසුමන යන අමාත්‍යවරුන් පවතින අර්බුදයට විසඳුම් සෙවීමට හැකි පිරිසට ආණ්ඩුව භාර දී අප සියලුදෙනාම ඉල්ලා අස්විය යුතු බවට කරුණු පැහැදිලි කර ඇත.

ඉන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, පවතින අර්බුදයට විසඳුම තමන් ඉල්ලා අස්වීම නම් අගමැති ධුරයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බවය.

එලෙස අග්‍රමාත්‍යාවරයා ඉල්ලා අස්වීමත් සමග පවතින කැබිනට් මණ්ඩලයද ඉබේම අහෝසි වන අතර එම ඉල්ලා අස්වීමේ ක්‍රියාදාමය එළැඹෙන සඳුදා දිනයේ සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post