16 හැවිරිදි දැරිය 30 000කට අරන් අරක්කු පොවා හදිකරලා


බාල වයස්කාර දැරියක රුපියල් 30,000ක මුදලකට පුද්ගලයකුගෙන් ලබාගෙන හෝටල් කාමරයක් තුළදී ඇයට අරක්කු පොවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කළේ යැයි කියන ගායකයකු බව කියන තැනැත්තකු අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය කියයි. දහසය හැවිරිදි දැරිය වෙළෙඳසැලකට යමින් සිටියදී ඇය හඳුනන බව පවසා යතුරුපැදියක නංවා ගත් පුද්ගලයකු දැරිය රුපියල් 30,000 කට මෙම සැකකරුට විකුණා ඇතැයි පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය විණි යැයි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

දැරිය රැගෙන ගොස් සැකකරුට විකුණා මුදල් ලබාගත් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.
$ads={2}
දැරියට ලිංගික අතවර කළ බව කියන ගායකයා මැණික්දිවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි. තමා ගායකයකු බව සැකකරු පොලිසියට පවසා ඇති බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. බරපතළ ලිංගික අපයෝජනයකට ලක්වූ බව කියන දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇත. තලාතුඔය පොලිස් වසමේ පදිංචි මවක් පෙරේදා (16) තලාතුඔය පොලිසියට පැමිණ වෙළෙඳ සැලකට යෑමට නිවසින් පිටව ගිය 16 හැවිරිදි දියණිය යළි නිවසට නොපැමිණි බවට පැමිණිල්ලක් කර ඇති අතර පොලිසිය දැරිය සොයා පරීක්ෂණ පවත්වද්දී ඇය සිය පියා සමග පෙරේදා පොලිසියට පැමිණ තිබේ.

කඩයට යමින් සිටියදී යතුරුපැදියකින් ආ පුද්ගලයකු තමා හොඳින් හඳුනන බව පවසා තමා යතුරුපැදියේ නංවා ගෙන ඔහුගේ නිවසට කැඳවා ගෙන ගොස් රාත්‍රි ආහාරද දී පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි හෝටලයකට රැගෙන ගොස් එහි සිටි පුද්ගලයකුට තමා මුදලට විකුණා එම මුදල් ලබාගෙන පිටව ගිය බව දැරිය පොලිසියට පවසා ඇත. එම පුද්ගලයා තමා හෝටලයේ කාමරයකට රැගෙන ගොස් අරක්කු බීමට දුන් බවද දැරිය පවසන බව පොලිසිය කියයි. එම පුද්ගලයා දැරියට කළ දෑ ගැන ද ඇය පොලිසියට පවසා ඇත. දැරියගෙන් සිද්ධියට අදාළව ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු හෙළි කළ බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවසීය. දැරිය හෙළිකළ තොරතුරු මත පරීක්ෂණ පවත්වා ගායකයකු බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post