උදයන්ති කිව්වාම සමහරුන්ගේ හිත්වල වැරදි වැටහීම් තියෙනවා

udayanthi kulathunga
උදයන්ති කුලතුංග කියන්නේ පුංචි තිරයේ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය සතු රංගන දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිත ගණනාවක් ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වුණා. ඒ වගේම කාලයක් ඇය මාධ්‍යවලට පුවත් මවන චරිතයක් බවටත් පත් වුණා. ඒ වගේම උදයන්ති ඇත්ත කතාකරන සහ කියන්න තියෙන ඕනෑම දෙයක් කෙළින්ම මූණටම කියන කෙනෙක්. කොහොම නමුත් කාලයක් නිහැඬියාවක හිටපු ඇය පසුගිය කාලේ විවාහ වුණා. මේ වෙද්දී උදයන්ති කාලෙකට කලින් රඟපෑ චිත්‍රපටයක් තිරගත වෙනවා.

කාලෙකට කලින් රඟපෑ චිත්‍රපටයක් තිරගත වෙනවා. එතැනින්ම කතාවට මුල පුරමු…

‘භවතරණ’ මේ චිත්‍රපටය කරලා ගොඩක් කල්. කලර් ෆිල්ම් එකෙන් පස්සේ තමයි මගේ චිත්‍රපටයක් ආවේ. ඉතින් දැන් භවතරණ මේ කාලෙට හොඳින්ම ගැළපෙන චිත්‍රපටයක් කියලා මම හිතනවා. ඒ නිසා කාලයක් ගත වුණත් හොඳම කාලේ අවුට් වෙන්නේ කියලයි මට හිතෙන්නේ.

අවුරුදු අටකට පස්සේ ඔබ ඔබවම රිදී තිරයෙන් දකිනකොට මොකද හිතුණේ…

ඇත්තටම චිත්‍රපටය බලද්දී නම් හිතුණා මීට වඩා මට තවත් රඟපාන්න තිබ්බද කියලා. නමුත් ඒ වයසත් එක්ක ඒ චරිතය ගැළපෙනවා. මගේ චරිතය ගැනත් මම කියන්නම්. සමනලී සහ සුභද්‍රා කියන චරිත දෙකම තමා මම නිරූපණය කරන්නේ. සමනලී කියන්නේ පොඩි මන්ද මානසික තත්ත්වයක් තියෙන තරුණ කෙල්ලෙක්. ඉතින් මම ආසාවෙන් බැලුවා ඒ කාලේ කොහොමද ඇක්ට් කරේ කියලා.

මේ කාලේ පුංචි තිරයේ දකින්න ලැබෙන්නෙත් අඩුවෙන්, ඇයි ඒ…

මම මෙගා නාට්‍යවල රඟපාන්න ආස නැහැ. අපි ආපු කාලේ තිබ්බේ කොටස් 45යි 50යි. මුළු නිර්මාණයේම කතාව ඒ පිටපත තුළ මුල මැද අග කියන කොටස් පැහැදිලිව තිබ්බා. ඒ නිසා අපි අපිට ලැබෙන චරිතය ගැන දැනගෙන රඟපෑවේ. ඊට පස්සේ මෙගා නාට්‍යයත් එක්ක චරිත කරන්න අමාරුයි කියලා මට හිතුණා. ඒ නිසාම මම චරිත බාරගත්තෙත් නැහැ.

ආයෙත් අපිට මාණික්කාවත තුළින් දකින්න ලැබෙනවා නේද?

ඔව්, මාණික්කාවත ටෙලි නාට්‍යය විකාශය වෙන්න පටන් ගත්තා. දැන් ආයෙමත් ටිකක් ගුණාත්මක නිර්මාණ බිහිවෙනවා. අධ්‍යක්ෂවරුන්ට දොස් කියන්නත් බැහැ. ඔවුන්ට ලැබෙන නිෂ්පාදකවරුන්ගේ දායකත්වය මත තමයි ඔවුන් නිර්මාණ කරන්නේ. වර්තමානයේ ඉන්න නළු නිළියන්ට අපිට වගේ හොඳ නිදහසක් කාලය පවා අඩුයි. ඉස්සර දවසට කරේ සීන්ස් තුනක් හෝ උපරිම හතරක්. අද වෙද්දී සීන්ස් 19ක් 20ක් විතර කරනවා ගෙදර එනකොට ඔළුව කැක්කුමයි.
$ads={2}
මාණික්කාවතේ ඔබේ චරිතය ගැන කිව්වොත්…

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත කෘතිය තුළින් සුදත් රෝහණගේ අධ්‍යක්ෂණයෙන් මාණික්කාවත නිර්මාණය වෙන්නේ. මට ලැබුණේ රුවිනා කියන චරිතය. කෙටිහාමි කියන ප්‍රධාන චරිතයට ඉන්න දුෂ්ට චරිතය තමයි රුවිනා කියන්නේ. ඒ නිසා නාට්‍යය තව විකාශය වෙද්දී කතාබහට ලක්වෙන චරිතයක් වෙයි.

අලුත් නිළියෝ අභියෝගයක් වෙලා නැද්ද?

මම හිතන්නේ නැහැ අභියෝගයක් කියලා. අපි ආව කාලයේ සංස්කෘතියට වඩා දැන් තියෙන සංස්කෘතිය වෙනස්. දැන් විවිධ සමාජ මාධ්‍ය හරහා මේ ක්ෂේත්‍රයට ඇවිත් ජනප්‍රිය වෙන්න උත්සාහ දරන අය වැඩියි. ඒ අතරේ හොඳ රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වෙන්න උත්සහ කරන අලුත් අයත් ඉන්නවා. මම අලුත් පරම්පරාව එක්කත් හිතවත් වෙනවා. මම මේ කාලෙටත් ගැළපෙන කෙනෙක්. ඒ නිසා මට ප්‍රශ්නයක් වෙලා නැහැ. අනික් කාරණාව අලුත් අය කතා නොකරොත් මම ම ගිහින් කතාබහ කරලා ඒ අය එක්ක හිතවත් වෙනවා.

පුංචි තිරයේ තරම් සිනමාවෙන් ආරාධනා නැහැ නේද…

ඒකට කාටවත් දොස් කියන්න බැහැ. මම හිතන්නේ දක්ෂතාවම විතරක් මදි, වාසනා ගුණයත් තියෙන්න ඕනේ. මට ඇත්තටම සිනමාවේ ප්‍රධාන චරිත ලැබුණේ හරිම අඩුවෙන්. ඒ ගැන දුකක් නැහැ. දැනුත් හොඳ චරිතයක් ලැබුණොත් බාරගන්නවා.

උදයන්ති විවාහයෙන් පස්සේ කලාවට සමුදුන්නා කියලත් කතා පැතිරෙනවා නේද…

නැහැ, එහෙම එකක් නම් කොහෙත්ම නැහැ. නිළියක් විවාහ කරගෙන එයාගේ දක්ෂතා හැකියාවන්වලට තහංචි දානවා නම් ඒක වැරදියි. මම නම් කියන්නේ මිනිස්සු මොනවා කිව්වත් එවැනි තීරණ ගන්න එපා. හැකියාවක් දක්ෂතාවක් එක්ක තමයි මේ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත්ත නිළියක් බිහිවෙන්නේ. එකපාරටම විවාහය එක්ක තහංචි දැම්මොත් පිස්සු හැදෙයි. ඒ නිසා නිළියක් කසාද බැන්ද හැම හස්බන්ඩ් කෙනෙක්ටම මම කියන්නේ එයාගේ හැකියාවන්වලට අවස්ථාවක් දෙන්න.

සැමියාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා වගේ…

මාත් එක්ක දවසක් දෙකක් ෂූටින් ගියා. පිරිසක් එක්ක වැඩ කරනවා දැක්කම එයාට අවබෝධයක් ලැබුණා තමන් ආදරේ කරන කෙනා පෙම්වත් චරිතයක් කරනකොට ඕනෙම කෙනෙක්ට පොඩි ඉරිසියාවක් ඇතිවෙන්න පුළුවන්. නමුත් පෙම්වත් චරිතයක් කළත් ඒ කැමරාවෙන් මෙහාට අපිට එතැන ප්‍රේමයක් නැහැනේ ඇත්තටම. ඒක ගැන අවබෝධයක් ගන්න ෂූටින් බලන්නම ඕනේ, ලොකු පිරිසක් එක්ක ලොකු කලබලයක් එක්ක මොකක්ද මේ කරන්නේ කියලා.

කාලයක් ව්‍යාපාර පැත්තට යොමු වුණා නේද?

ඔව්, ඒකත් අතහැරලා දැම්මා. අපිට ව්‍යාපාර කරන්න බැහැ. රඟපෑම තමයි පුළුවන්. ව්‍යාපාර කරන්න ගිහින් බංකොළොත් වුණා. දැන් මුකුත්ම නැහැ. නාට්‍යයක් ආවොත් බාරගෙන කරනවා. නැත්නම් මහත්තයාව හොඳින් බලාගෙන සරල සුන්දර විවාහ ජීවිතයක් ගත කරගෙන ඉන්නවා. දැන් ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ.

රංගනය තුළින් ඔබ දකින අනාගත බලාපොරොත්තු මොනවද?

උදයන්ති කිව්වම සමහර අයගේ හිත් තුළ වැරදි වැටහීම් තියෙනවා. මට ඕනේ මගේ නිර්මාණ තුළින් උදයන්ති කවුද කියන එක ප්‍රේක්ෂකයාට සමීප කරන්න. ඒ නිසා නිර්මාණ නොකර සැඟවී යන්න මම කැමති නැහැ. මම කැමති චරිත තුළින් ප්‍රේක්ෂකයා අතරට ආදරණීය ලෙසින් සමීප වෙන්න.

පවුල් ජීවිතේ පැත්තෙන් ගත්තොත් මොනවද අනාගත බලාපොරොත්තු..

ලොකු බලාපොරොත්තු නැහැ. අපි සතුටින් ජීවත් වෙනවා. මගේ සැමියා නීතිඥවරයෙක්. එයාගේ දේවල් එක්ක මට අලුත් ජීවිතයක් ලැබිලා තියෙනවා. එයත් එක්ක සතුටින් මැරෙනකම්ම ජීවත් වෙන එක තමා බලාපොරොත්තුව.

උසාවිය ගෙදරට ගේන්නේ නැහැ නේද?

අනේ නැහැ. එයාටත් ලොකු නිදහසක් ගෙදරට ආවම. නීතිඥයෙක් කලාකරුවෙක් බඳින එක හොඳයි. මොකද එයාලා ගොඩක් මනසින් හිතලා වැඩ කරන අයනේ. වැඩ කරලා මහන්සි වෙලා ගෙදරට ආවම පිස්සු වැඩ කරලා එයා එක්ක කියව කියව ඉන්න එකට එයා ආසයි. මම හිතනවා ඒ නිසා හොඳ ගැළපීමක් කියලා.

හුඟක් අය විදෙස්ගත වෙන්න උත්සාහ කරනවා, උදයන්තිට එහෙම අරමුණක් තියෙනවද?

විදෙස්ගත වෙන්න ආසයි. ඒත් එහෙ ගිහින් අපි මොනවද කරන්නේ කියලා හිතෙනවා. මගේ ඥාතීන් ඉන්න නිසා ඒ අය ගාවට ගියත් උපරිම සතියක් දෙකක් යද්දී මට ඒ රට එපා වෙනවා. අපිට ඒ සංස්කෘතිය ගැළපෙන්නේ නැහැ. මොන දේ වුණත් අපේ රටේ අපේ මිනිස්සු එක්ක ඉන්න තමා මම කැමති. ඒ නිසා සංචාරය කරන්න විදෙස්ගත වුණත් පදිංචි වෙන්න නම් විදෙස්ගත වෙන එකක් නැහැ.

ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී අද මොකද හිතෙන්නේ…

අපි කාටවත් වැරදි කියන්න හොඳ නැහැ. නිළියක් වුණාම පුංචි වයසේදී ලොකු ජනප්‍රියත්වයක් ලැබෙනවා. එතකොට මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර විවිධයි. අපිට තේරුමක් නැහැ. අපේ තරුණ වයසට ලස්සනයි කියලා හිතලා කොටට අඳිනවා. පිරිමින්ගේ ඇහැ ගැටෙනවා. ඇඳුමෙන් පැලඳුමෙන් මිනිස්සු වර්ගීකරණය කරනවා එයා මෙහෙමයි අරයා මෙහෙමයි කියලා. තරුණ කාලෙදිත් ලස්සනට ඇඳලා ඉන්නත් එපැයි. ඒ නිසා මම නම් අලුත් අයටත් කියන්නේ ඔය කාලය ආයේ එන්නේ නැහැ. ඔය කාලය ගෙවුණාම තමයි අපිට තේරෙන්නේ. ඒ නිසා අත්දැකීම් ලබන්නත් ඕනේ. සමහර වෙලාවට හිතෙනවා මීට වඩා දැඟලිලි අඩු කෙල්ලෙක් වෙලා හිටියා නම් හොඳයි කියලත්. නමුත් ඒ මගේ උපතේ හැටි. දැන් හුඟක් අය මට ආදරෙයි. උදයන්ති චාම් වෙලා වගේ දේවල් කියනවා. වයසත් එක්ක අත්දැකීම් එක්ක ඉදිරියට යද්දී තමයි අපිට හැමදේම තේරුම් යන්නේ. නරක කාලයටත් දේවල් වෙනවනේ ඉතින්. ඒ ඔක්කොම ජීවිතේට ලැබෙන අත්දැකීම් තමයි. නිකම්ම මැරිලා යනවටත් වඩා මම කැමතියි අත්දැකීම් ගොඩක් එක්ක මේ ජීවිතේ ගතවෙනවට. ඒ නිසා ජීවිතේ ගැන දුකක් නැහැ. මේ වයසට මම අත්දැකීම් ගොඩක් ලබලා තියෙනවා.

අනුෂා රණසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post