වෙළෙඳපොළේ ඇති ගෑස් සිලින්ඩර්වල සංයුතිය ලිට්‍රෝ සමාගමත් දන්නේ නැති ලු


ගෑස්වල සංයුතියේ යම් වෙනසක් සිදු කළ බව ලිට්‍රෝ සමාගම අද (දෙසැ. 1) යළිත් පිළිගත්තේ ය.

කෙසේ වෙතත්, දැනට වෙළඳපොළේ පවතින ගෘහස්ත ගෑස් සිලින්ඩරවල අඩංගු ගෑස් සංයුතිය පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසීය.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ, අද (දෙසැ. 1) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ප්‍රශ්නය: දැන් වෙළෙඳපොළේ තියෙන සිලින්ඩර්වල හරියට ම ඔබතුමා කියන්න සංයුතිය කොයි වගේ ද කියලා?

පිළිතුර: හරියට ම කියන්න කාටවත් ම බැහැ. මොක ද ෂිප් එකෙන් ෂිප් එකට වෙනස් වෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අදාළ ගෑස් සංයුතිය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ වාර්තාව සහ තම සමාගම විසින් සිදු කරන ලද පරීක්ෂණ වාර්තාව එකිනෙකට වෙනස් බව ද ලිට්‍රෝ සමාගම එහිදී පැවසීය.

එමෙන් ම, දැනට ශ්‍රී ලංකාවේ ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා සුදුසු පරීක්ෂණාගාරයක් නොමැති බැවින් ස්වාධීනව වෙනත් රටක පරීක්ෂණයක් සිදු කර වාර්තා ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව ද ලිට්‍රෝ සමාගම පැවසීය.
$ads={2}
අදාළ මාධ්‍ය හමුවට සහභාගී වූ ලිට්‍රෝ සමාගමේ කර්මාන්ත ශාලා කළමනාකරු අයි. විජේරත්න මහතා ප්‍රකාශ කළේ, ගෑස් සංයුතිය වෙනස් කර ලීටර් 18 සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කළ බව ය.

කෙසේ වෙතත්, ජූලි 28 වන දායින් පසුව ලීටර් 18 ගෑස් සිලින්ඩර නිෂ්පාදනය සම්පූර්ණයෙන් නතර කර දැමූ බව ඔහු පැවසීය.

ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ, එහිදී සිලින්ඩර 60,000-70,000 අතර සංඛ්‍යාවක් වෙළෙඳපොළට නිකුත් කළ බව ය.

"අප්‍රේල් මාසයේ ඒක වෙළෙඳපොළට නිකුත් කරනකොට 50:50 සංයුතියෙන් නිකුත් කළා පළවන බැච් එක."

එමෙන් ම, ගෑස්වලින් නිකුත් වන ගන්ධයේ වෙනසක් සිදු නොකළ බව ද ලිට්‍රෝ සමාගම එහිදී පැවසීය.

පසුගිය ජූලි මාසයේදී ගෑස් සිලින්ඩර්වල සංයුතියේ වෙනසක් සිදු කර සාම්පල් සිලින්ඩර් කිහිපයක් වෙළෙඳ පොළට නිකුත් කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ කර්මාන්ත ශාලා කළමනාකරු අයි. විජේරත්න මහතා ඊයේ (නොවැ. 30) රූපවාහිනී සේවයකට පවසා තිබිණි.

අදාළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කළේ, පැවති සම්මත සංයුතියේ සැලකිය යුතු වෙනසක් එහිදී සිදු කළ බව ය.

එම අත්හදාබැලීම සාර්ථක නොවූ හෙයින් අදාළ සිලින්ඩර් වෙළෙඳ පොළෙන් ඉවත් කළ බව ද ඔහු පැවසීය.

මේ වන විට, වෙළෙඳ පොළේ පවතින ගෑස් සිලින්ඩර්වල සංයුතිය පැවති සම්මත අගයයන් අනුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post