පොඩි ළමයින්ට එන්නත් අවශ්‍ය නෑ.. මුලින්ම 1-5 පන්ති අරඹයි.. පාසැල් විවෘත කිරීමේ සැලැස්ම මෙන්න…



පාසල් යළි විවෘත කළ යුතු ක්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඩ් 19 නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර ඇති බවත් කමිටුව ගන්නා තීරණ අනුව ඉදිරියේදී අදියර 04ක් යටතේ පාසල් යළි විවෘත කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

කොවිඩ් උවදුර සමනය වීමත් සමග පාසල් යළි විවෘත කිරීම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (24) සංවිධාන කර තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත්දීම අවශ්‍ය නැති නිසා කොවිඩ් උවදුර සමනය වීමත්සමග පාසල් යළි විවෘත කිරීමේදී 1 සිට 5 ශ්‍රේණිවල පාසල් 3884 ක් මුල් අදියර යටතේ පටන් ගැනේ. තාක්ෂණික කමිටුවේ තීරණ ලැබුණු විගස අවුරුදු 12-15 ත් සහ 16-19 අතර වයස්කාණ්ඩවල ළමුන් ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අනුමැතිය ඇතිව එන්නත් කරන බව මහාචාර්ය පෙරේරා මහතා කීවේය.

ඉදිරි සතිය ඇතුළත අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගෙන් ඒ ඒ පළාත්වල සහ දිස්ත්‍රික්කවල නැවත පාසල් ආරම්භ කිරීමේ සූදානම ගැන විමසනු ලැබේ. එම අදහස් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ අනුව සංචරණ සීමා අවසන් වීමෙන් පසු පාසල් නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.
$ads={2}
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ද මාධ්‍ය සාකච්ඡාවේදී ලේකම්වරයා අදහස් දැක්වීය. සෞන්දර්ය විෂයය හැර අනෙකුත් විෂයයන්ගේ ප්‍රතිඵල ඊයේ (23) නිකුත් කෙරිණි.

කොවිඩ් උවදුර සමනය වී පාසල්නැවත විවෘත කළ පසු ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන බව ඔහු පැවසීය.

සෞන්දර්ය විෂයය යටතේ නැටුම්, සංගීතය සහ නාට්‍ය හා රංගකලාව හදාළ සිසු සිසුවියන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන බව ද පෙරේරා මහතා කීය.

2020 වර්ෂයේදී සෞන්දර්ය විෂයයට සිසු සිසුවියෝ 170,000ක් පෙනී සිටියහ. ඔවුන්ගෙන් විෂයයන් 05ක් සමග සම්මාන 02 සහිත සාමාර්ථය සහ පාසල් පාදක තක්සේරුව යටතේ නිපුණතා මට්ටම 1,2 සහ 3 (විශිෂ, සමාන්‍ය, ආසන්න) ලබාගෙන ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන තුරු උසස්පෙළ ඉගෙනීමට අවසර ලැබේ.

2020 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සෞන්දර්ය විෂයයේ ප්‍රතිඵල හැර සෙසු විෂයයන්හි ප්‍රතිඵල අනුව සියයට 75.12ක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස්ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.

විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට විභාග අංකය අමතක නම් ජාතික හැඳුනුම්පත් අංකය උපයෝගී කොටගෙන හෝ 1911 ඇමතීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව ද සනත් පූජිත මහතා කීවේය. විදුහල්පතිවරුන්ට, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රතිඵල දැන ගැනීමේ ක්‍රමයක් සකස්කර ඇති බවත් විභාග සහතික අවශ්‍ය අයට සඳුදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒවා ලබාගැනීමට හැකි බවත් විභාග කොමසාරිස්ජනරාල්වරයා කීවේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්. එල්. එම්. ඩී. ධර්මසේන මහතා ද ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post